Last Update  :  2026-03-25 12:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අන්තර් පාසල් ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව තරග හෙට සිට

අන්තර් පාසල් ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව තරග හෙට සිට

editorial - 2026 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ තලයේ අර්ධ අවසන් පූර්ව තරග හෙට (26 වැනිදා) සිට අප්‍රේල් මස 4 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

කොළඹ නාලන්දා, මහනුවර ත්‍රිත්ව, මොරටුව ශාන්ත සෙබස්තියන්, මොරටුව වේල්ස් කුමර, බම්බලපිටිය ශාන්ත පීතර, මරදාන ශාන්ත ජෝෂප්, කොළඹ රාජකීය සහ කොළඹ මහානාම යන විදුහල් මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි. 

එහිදී නාලන්දා විදුහලට එරෙහිව ත්‍රිත්ව විදුහල හෙට සිට 28 වැනිදා දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාප ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය. කණ්ඩායම් දෙකම මෙම අර්ධ අවසන් පූර්ව තරගයට එක් වන්නේ මෙවර ඔවුන් සහභාගි වූ මහ ක්‍රිකට් තරග ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමෙන් අනතුරුවය. 

එම තරගයෙන් අනතුරුව මහා ක්‍රිකට් තරගවලදී ප්‍රතිවාදීන් ලෙස තරග වදින කණ්ඩායම් 4 ක් අතර සුවිශේෂී අර්ධ අවසන් පූර්ව තරග 2 ක් පැවැත්වෙනු ඇත. එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව වේල්ස් කුමර විදුහල ගල්කිස්සේදීත්, ශාන්ත පීතර විදුහලට එරෙහිව ශාන්ත ජෝෂප් විදුහල කුරුවිටදීත් තරග වදිනු ඇත. 

ශාන්ත සෙබස්තියන් සහ වේල්ස් කුමර විදුහල් අතර පැවැති 76 වැනි ‘රන් සටන’ මහ ක්‍රිකට් තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර විදුහල සමත් විය. ශාන්ත පීතර සහ ශාන්ත ජෝෂප් විදුහල් අතර පැවැති 92 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ මහ ක්‍රිකට් තරගයේදී ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිමේ ජයක් ලැබීය.  

සිවුවැනි අර්ධ අවසන් පූරව තරගයේදී රාජකීය විදුහලට එරෙහිව මහානාම විදුහල තරග බිමට පිවිසෙන අතර එම තරගය මඩම්පැල්ල ඩී.එච්.එච්. ක්‍රීඩාංගණයේදී අප්‍රේල් මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා පැවැත්වේ. 


අර්ධ අවසන් පූර්ව වටයේ කාල සටහන 

මාර්තු 26 සිට 28 දක්වා - නාලන්දා විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාප ක්‍රීඩාංගණයේදී 

මාර්තු 28 සිට 30 දක්වා - ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී 

මාර්තු 29 සිට 31 දක්වා - ශාන්ත පීතර විදුහල සහ ශාන්ත ජෝෂප් විදුහල අතර කුරුවිට යුද හමුදා  ක්‍රීඩාංගණයේදී 

අප්‍රේල් 2 සිට 4 දක්වා - රාජකීය විදුහල සහ මහානාම විදුහල අතර මඩම්පැල්ල ඩී.එච්.එච්.  ක්‍රීඩාංගණයේදී 


අදහස් (0)

අන්තර් පාසල් ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.