Last Update  :  2026-04-16 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අතීතයේ හැඩරුව ඇති වර්තමාන කතාවක්
නවසීලන්ත ‘ඒ“ පිලේ සංචාරය

අතීතයේ හැඩරුව ඇති වර්තමාන කතාවක්

editorial - 2026 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සිංහල අවුරුදු නිවාඩුවට පස්සේ සුභවාදී ප්‍රවෘත්තියක් ලියන්නට ලැබීමත් සතුට දනවන්නක්. නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 3-0 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකිවීම නිසා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව ආයෙමත් උඩුගං බලා යන්නට පටන් අරන් කියලා හඳුන්වන්න පුළුවන්. 

මෙම තරගාවලියේදී දෙවතාවක්ම, ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන් ලකුණු 300 කඩඉම පසුකිරීමත්, අනෙක් තරගයේදී ලකුණු 261 ක් ලබාගැනීමෙන් පසුව නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම ලකුණු 121 කට සීමා කරමින් එම තරගයෙන් ලකුණු 140 ක දැවැන්ත ජයක් ලබාගැනීමත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ශක්තිය මොනවට පැහැදිළි කිරීමකි. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 300 කඩඉම පසුකර ගිය තරග දෙකින් එකකදී, (අප්‍රේල් 11 වැනිදා) ලකුණු 302 ක ඉලක්කය පසුකර යන්නේ පන්දු 22 ක් ඉතිරිව තිබියදීය. 

එක්දින තරග තුනකදී වාර්තා වූ සාර්ථක ඉනිම ලෙසින් සැලකිය හැකි ලසිත් කෲස්පුල්ලේ (103), සොනාල් දිනූෂ (93), කමිල් මිෂාර (71 සහ 83), පවන් රත්නායක (77), සහන් ආරච්චිගේ (66 සහ 74), අහන් වික්‍රමසිංහ (නොදැවී 64) මිලාන් රත්නායක (53) යන පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම්, මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගේ අභිප්‍රාය කුමක්ද යන්න පැහැදිළිවම කියාපාන්නකි. 

අනෙක් අතට “මඩ කුඹුරක සෙල්ලම් කරලා දින්නා” යයි කිසිවකුට කිව නොහැක්කේ වමතින් දඟ පන්දු යවන වනුජ සහන් (13/5) හැරුණු විට අනෙක් පන්දු යවන්නන් කඩුලු මල්ල මල්ල බැගින් කිහිලිගන්නා නොගත් බැවිනි. වමතින් දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමට ඇති නොහැකියාව නවසීලන්ත ‘ඒ’ පිතිකරුවන්ගේ ප්‍රශ්නයකි. 

එන්.එස්.එල්. (නැෂනල් සුපර් ලීග්) තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ක්‍රීඩකයන් 87 දෙනා අතුරින් ක්‍රීඩකයන් 23 දෙනකු ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වූ නමුත් ඔවුන් 23 දෙනාගෙන් කිසිවකු නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව තරග කිරීමට තෝරා නොගන්නා ලදි. 

එබැවින් මෙම තරගාවලි ජයග්‍රහණයෙන් යළිත් වරක් සනාථ වන්නේ ක්‍රීඩකයන්ට තිබිය යුතු ශාරීරික යෝග්‍යතාවේ වැදගත් කමයි. කෙසේ වෙතත් ජයග්‍රහණය සොයා, මේ උඩුගං යාම දිගින් දිගටම පවත්වාගෙන යා හැක්කේ ක්‍රීඩකයන්ටම මිස පාලකයන්ට නම් නොවේ. ඊට හේතුව මෙසේ පැහැදිළිකර දිය හැකිය. 

වසර 2003 සිට 2014 දක්වාම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය මහත් අර්බූද රැසකට මුහුණ දුන් කාලයකි. ක්‍රිකට් නිලවරණයක් තිබුණේම නැති තරම්ය. 2012 නිලවරණය කතා කිරීමත් නොවටී. 

එවන් තත්ත්වයක් තිබියදීත් ශ්‍රී ලංකා කණ්ඩායම 2003 දී ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයටත් සුදුසුකම් ලබාගත්තේය. එතැන් සිට ලෝක කුසලාන තරගාවලි 5 කදීම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේත්, 2014 විස්සයි-20 ලෝක කුසලානය දිනාගත්තේත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය එහෙම පිටින්ම දුෂ්ඨකම්, කුඩුකේඩුකම්, ද්‍රෝහීකම් මෙන්ම තක්කඩිකම් වලින් වැසී තිබුණු වකවානුවකය. 

ක්‍රිකට් කණ්ඩායමක සාර්ථකත්වය ඇත්තේ ක්‍රීඩකයන් අතම මිස පුහුණුකරුවන් හෝ අනෙක් අය මත නොවේ. එය ක්‍රීඩකයන් හොඳින්ම දන්නා කාරණාවකි. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ 3 -0 තරගාවලිය ජයග්‍රහණය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ සුබ නිමිත්තක් සේ පෙනෙන්නේ එය ක්‍රීඩකයන් විසින්ම අත්පත් කරගන්නා ලද සාර්ථකත්වයක් වන බැවිනි. 
මේවා තහවුරු කිරීමට අතීත සටහන් එමට තිබේ. 

1996 දී ලෝක කුසලාන දිනාගත් අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වූ ඩැව්නෙල් වට්මෝර් ශ්‍රී ලංකා කණ්ඩායමේ එදා මෙදා තුර සිටි සියලුම පුහුණුකරුවන් අතුරින් ‘දේශමාන්‍ය’ සම්මානය හිමි එකම පුහුණුකරුවාය. පුහුණුකරුවකු වශයෙන් වට්මෝර් මහතාට ද ප්‍රශ්න නොතිබුණා නොවේ. ඔහු 1997 දී ශ්‍රී ලංකා කණ්ඩායම හැර ගියේ ද නොමනාපයෙනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම හැරයාමෙන් පසුව එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරමින් සිටි ඩැව්නෙල් වට්මෝර් මහතා 1999 මැද භාගයේදී නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාරගැනීමට පාදක වූයේ එවකට ක්‍රිකට් අතුරුකමිටු සාමාජිකයන් වූ රියන්සි විජේතිලක, එස්. ස්කක්ධකුමාර, මයිකල් තිසේරා සහ කුෂිල් ගුණසේකර යන මහත්වරුන් සමග පැවැති සාකච්ඡා පමණක් නොවේ. 1999 දී එංගලන්තයට ගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ දස්කම් ද වට්මෝර් මහතාගේ 1999 පුනරාගමනයට බෙහෙවින් බලපෑවේය. 

1999 දී එංගලන්ත ක්‍රිකට් මණ්ඩල සභාපතිවරයාගේ පිලට සහ ලැන්කෂයර් පිලට එරෙහිව පැවැති පළමු පෙළ තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ග්ලොස්ටර්ෂයර් පිලට එරෙහිව පැවැති එක්දින තරගයත්, ඒ වනවිට එංගලන්තයේ සංචාරය කරමින් සිටි ස්ටීවන් ෆ්ලෙමින්ගේ නවසීලන්ත කණ්ඩායමත් එක්දින තරග දෙකකදී පරාජය කළහ. එදා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් රසල් ආනල්ඩ්, තිලකරත්න ඩිල්ෂාන්, රංගන හේරත්, අවිශ්ක ගූණවර්ධන, ඉන්දික ද සේරම්, චාමර සිල්වා, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ ප්‍රසන්න ජයවර්ධන වැන්නන් ක්‍රීඩා කරද්දී, ඩැව්නෙල් වට්මෝර් මහතාගේ ගුරුහරුකම් ඇතිව, මයිකල් ඇතර්ටන්, නීල් ෆෙයාබ්‍රදර්, ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්, ඉයන් ඔස්ටින් සහ ග්‍රැහැම් ලොයිඩ් වැන්නෝ ලැන්කෂයර් පිලට ක්‍රීඩා කළහ. එවන් ක්‍රීඩකයන් පිරිසක් සමගින් ක්‍රීඩා කළ ලැන්කෂයර් කණ්ඩායම, දින 3 ක් ඇතුළතදී ලකුණු 179 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්වීම වට්මෝර් මහතාගේ සිත නැවතත් ශ්‍රී ලංකාව වෙතට නැඹුරු කරවීමට තුඩුදුන් කාරණාවක් විය.
 
1999 දී යළි ශ්‍රී ලංකාවට පැමිණි ඩැව්නෙල් වට්මෝර් මහතා 2003 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියේ තමන්ගේ හයියෙන් පමණක් නොවේ. සනත් ජයසූරිය, මාවන් අතපත්තු, අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රසල් ආනල්ඩ් සහ දිල්හාර ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයෝ වට්මෝර් මහතා වටේට සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබූ පරිපාලන අර්බූද වලින් කිසිම ආකාරයකින් බලපෑමක් ක්‍රීඩකයන්ට නොතිබිණ. 

එදා ක්‍රීඩකයන්ට අවශ්‍යව තිබුණේ ජයග්‍රහණයයි. මහත් සේ කැපවීම් කරමින් ඔව්හු එය ලබාගත්හ. 

2015 දී ටෙස්ට් පිටියෙන් සමුගත් දා කුමාර් සංගක්කාර කියා සිටියේ “දැන් ඉතින් මට ශාරීරික යෝග්‍යතාව පවත්වාගන්න මහන්සි වෙන්න දෙයක් නෑ” කියායි. වසර 15 ක් තිස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන් සංගක්කාර කළ ශාරීරික කැපකිරීම ඒ වදන් තුළ කැටිකර තිබිණ. 

ශ්‍රී ලංකා ‘ඒ’ - නවසීලන්ත ‘ඒ තුන්වැනි එක්දින තරගයේ ලකුණු සැකෙවින්

නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ට 302 යි
(රයිස් මාරියු 28, කර්ටිස් හීපි 18, මැතිව් බොයිල් 85, මොහොමඩ් අබ්බාස් නොදැවී 110, මැක්ස් චූ 16, ටිම් ප්‍රින්ගල් 20, විජයකාන්ත් වියස්කාන්ත් 46/2)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - ඕවර 46.2 කදී කඩුලු 6 ට 303 යි
(කමිල් මිෂාර 83, ලසිත්  කෲස්පුල්ලේ 26, පවන් රත්නායක 77, අහන් වික්‍රමසිංහ නොදැවී 64, සොනාල් දිනූෂ නොදැවී 26, විජයකාන්ත් වියස්කාන්ත් නොදැවී 11, සයිමන් කීන් 54/4, ටිම් ප්‍රින්ගල් 42/2)


අදහස් (0)

අතීතයේ හැඩරුව ඇති වර්තමාන කතාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.