Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හිස් ඔසවාගෙන තරගාවලිය නිමා කරති

හිස් ඔසවාගෙන තරගාවලිය නිමා කරති

editorial - 2021 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

තරගයේ හතර වැනි සහ පස්වැනි දින දෙකටම වර්ෂාවෙන් බාධා පැමිණි හෙයින් විසඳුමකින් තොරව තරගය නිමා වනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්‍ෂාව විය. වෙනසක් විය හැකිව තිබුණේ නම් ශ්‍රී ලංකා පිතිකරුවන් අනවශ්‍ය කලබලයකට ලක්වී කඩුලු වීසි කර දැමීම නිසා නමුත් එය එසේ නොවීය. එබැවින් හිස් ඔසවාගෙන තරගාවලිය නිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. 

ලකුණු 377 ක ඉලක්කය කරා යාම පසෙක තැබූ නායක දිමුත් කරුණාරත්න ඇතුළු කණ්ඩායම තමන්ගේ ගෞරවය බේරා ගැනීමේ අටියෙන් පන්දුවට පහර දෙමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළේය. අවසන් දිනයේ ක්‍රීඩාව අතහැර දමන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටියේය. 

විස්සයි-20 තරගාවලියේදී මෙන්ම එක්දින තරගාවලියේදීත් පරාජය වූ නමුත් ටෙස්ට් තරගාවලියේ එකම තරගයක් හෝ පරාජය නොවී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවීමත් එක්තරා අන්දමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සැනසීමකි. 

පළමු ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 375 ක ඉලක්කයක් කරා යාමට සිදුවූ කොදෙව් පිල එම තරගය බේරා ගත් අකාරයෙන්ම දෙවැනි තරගයේදී ලකුණු 377 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමත් තරගය බේරා ගත්තේය. අවසන් දිනයේදී ශ්‍රී ලංකා පිලේ ඉලක්කය වූයේ ලකුණු 348 කි. කඩුලු 10 ක්ම අත තිබුණත් වර්ෂාවෙන් තරගය ආරම්භ වීම ප්‍රමාද වීම ශ්‍රී ලංකා පිලේ අරමුණ වඩාත් පහසු කළේය. 

දිවා ආහාරයට පෙර තරගය ඉතා මන්දගාමී වූයේය. එහෙත් එම කාලයේදී කඩුල්ලක් නොදී දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න දෙදෙනා ලකුණු 93 ක් තම පිල වෙනුවෙන් එකතු කර දුන්හ. දෙපිලම දිවා ආහාරයට ගියේ තරගය ජය පරාජයෙන් තොරව නිමා විය හැකිය යන අදහසේ සිටිමිනි. 

තරගාවලිය පුරාම ලකුණු අහේනියෙන් පෙළෙමින් සිටි කරුණාරත්න, අවශ්‍යම මොහොතේදී ලකුණු අතරට ආවේය. ශතකයක් ලබාගැනීමට හොඳ අවස්ථාවක් තිබූ නමුත් කයිල් මේයර්ස්ගේ පන්දුවක් පා ආවරණයේ වැදීමෙන් ශ්‍රී ලංකා නායකයා දැවී යන විට පැය 4 ක් තිස්සේ පන්දු 176 කට මුහුණ දී තිබිණ. ඔහුගේ ඉනිමට අයත් වූයේ හතරේ පහර 9 ක් පමණි. 

විනාඩි 165 ක් කරා ඇදී ගිය කරුණාරත්න - තිරිමාන්න ශතක සම්බන්ධතාව නතර වූයේ අල්සාරි ජෝෂප්ගේ පන්දුවක් හමුවේ තිරිමාන්න ගැසීමට උත්සාහ කළ ඩ්‍රයිව් පහරකි. පන්දු යැවීමේදී ස්ටේ්‍රට් ඩ්‍රයිව් පහරක් නවත්වා ගැනීමට නොහැකි තරම් දැවැන්ත ශරීරයකින් හෙබි ක්‍රීඩකයකු වන නමුත් තිරිමාන්නගේ උඩපන්දුව බිම පෙරළී රැකගැනීමට ස්ලිප් හි සිටි රකීම් කොන්වෝල්ට මේ වතාවේදී හැකිවූයේය.

දිමුත් කරුණාරත්නගේ දැවී යාම කොදෙව් පිලේ බලාපොරොත්තු නංවන්නක් වූවද ඕෂධ ප්‍රනාන්දු ඔවුනට හරස් වූයේ වඩාත් ජ්‍යේඨයා වූ දිනේෂ් චන්දිමාල් සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමිනි.  කෙසේ වෙතත් කඩුලු රකින්නා වූ ජොෂුවා ද සිල්වා තරගයේ අවසන් දිනය අමතක කළ හැකිනම් වඩාත් සතුටු වනු ඇත. උඩපන්දු දෙකක්ම බිම දැමූ ජොෂුවා පන්දු යවන්නාගේ අන්තයට පන්දුව දමා ගැසීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට අතිරේක ලකුණු 4 ක්ද එක්විය. තිරිමාන්න සහ ඕෂධ දෙදෙනාම ජොෂුවාගේ උඩ පන්දු දෙක අතහැරීමෙන් වාසනාව ලද්දෝ වූහ. 

නියමිත වේලාවට කලින්ම තරගය අතහැර දැමූ දෙපිලේ නායකයෝ අන්තර්ජාතික ටෙස්ට් ශූරතාවලියේදී තරගාවලියකට ලැබෙන ලකුණු 120 බෙදා ගත්හ. කොදෙව් - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියකදී ජයග්‍රාහකයන්ට පිරිනැමෙන සෝබර්ස් - තිසේරා කුසලානය, 2015 දී එය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පවති.  

තරගයේ වීරයා වශයෙන් ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා වශයෙන් සුරංග ලක්මාල් සම්මාන දිනා ගත්තේය. 

 

ලකුණු පුවරුව  
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 354  
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 258   
බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම කඩුලු 4 ට 280   
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම   
ළහිරු තිරිමාන්න - ඇ.කොන්වෝල් ප.අල්සාරි ජෝෂප් 39
දිමුත් කරුණාරත්න - ප.මේයර්ස් 75
ඕෂධ ප්‍රනාන්දු - නොදැවී  66
දිනේෂ් චන්දිමාල් - නොදැවී  10
අතිරේක 3
එකතුව ඕවර 79 කදී කඩුලු 2 ක් දැවී 193
කඩුලු වැටීම
1-101(තිරිමාන්න), 2-146(කරුණාරත්න)
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ  
ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දු
පන්දු යැවීම   
කෙමර් රෝච් : 12-2-33-0, ජේසන් හෝල්ඩර් : 10-3-24-0, රකීම් කොන්වෝල් : 26.4-8-53-0, ෂැනන් ගේබි්‍රයෙල් : 5.2-2-20-0, අල්සාරි ජෝෂප් : 10-2-33-1, ජර්මේන් බ්ලක්වුඩ් : 6-1-17-0, ක්‍රෙග් බ්‍රැත්වෙයිට් : 3-0-07-0, කයිල් මේයර්ස් : 6-4-05-1


අදහස් (0)

හිස් ඔසවාගෙන තරගාවලිය නිමා කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.