Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැබෑ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් ලීගයක්

සැබෑ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් ලීගයක්

editorial - 2021 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව පුරා සිටින ක්‍රිකට් ප්‍රවීණයන් සහභාගි කරවාගනිමින් නවතම ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට ‘ඇබ්සලූට් ලෙජන්ඩ්ස් ස්පෝර්ස්’ පුද්ගලික සමාගම කටයුතු සූදාමන් කරමින් සිටියි. මින් පෙර පැවැති ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියට හාත්පසින්ම වෙනස් මෙම තරගාවලිය ඉන්දීය කණ්ඩායම, ආසියානු කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර තුන්කොන් විස්සයි20 තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය.

ප්‍රදර්ශන තරග රටාවෙන් ඔබ්බට ගොස් වැඩි තරගකාරීත්වයක් එක් කිරීම අරමුණු කරගෙන මෙම තරගාවලිය කණ්ඩායම් තුනකට සීමාකර තිබේ. එහිදී සෑම කණ්ඩාමක්ම සෙසු කණ්ඩායම් දෙක සමග දෙවරක් බැගින් තරග වදින ලෙස ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙනු ඇත. මූලික වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම රැදී සිටින කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

අදියර දෙකකින් සමන්විත වන මෙම තරගාවලියේ පළමු අදියර ලබන වසරේ (2022) මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත අතර මෑත කාලයේදී ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත් ක්‍රීඩකයන් රැසක් ඊට සහභාගි වීමට නියමිතව ඇත. එහිදී ආසියානු කණ්ඩායමට ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශය නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩකයන් ඇතුළත් වීමට නියමිත අතර ලෝක කණ්ඩායමට ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩකයන් එක් වනු ඇත.

“ඉස්සර හිටපු ක්‍රීඩකයන්, ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ට ආගමක් බවට පත් කළා. ක්‍රීඩා ලෝලීන් ඔවුන්ට සැලකුවේ දෙවිවරුන්ට වගේ. ඔවුන් ක්‍රීඩාංගණයේ සිටින අවස්ථාවලදී පමණක් තරග නැරඹීමට සමහර ක්‍රීඩා ලෝලීන් පුරුදු වෙලා හිටියා”

“එවැනි ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳ මතකය යළිත් අලු‍ත් කිරීමට අපට අවශ්‍යයි. මේ වන විට ඔවුන් විශ්‍රාම ගිහින් වුණත්, ඔවුන්ගේ නැවත පැමිණීම දැක බලා ගැනීමට ක්‍රීඩා ලෝලීන් නොඉවසිලෙන් පසුවෙනවා. සමහර ලෝක මට්ටමේ ප්‍රවීණ ක්‍රීඩකයින් තුළ තවමත් බොහෝ හැකියාවන් ඉතිරිව තිබෙන බව අපට හැඟෙනවා.” යැයි ප්‍රවීණයන්ගේ ක්‍රිකට් ලීගයේ ප්‍රධාන විධායක නිලධාරී රාමන් රහේජා මහතා පවසයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන අශීෂ් නේරා මෙම තරගාවලිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

“පැරණි එදිරිවාදිකම් ක්‍රීඩාංගණයේදී නැවතත් අලුත් කරගැනීමට ලැබීම සම්බන්ධයෙන් මම මහත් සතුටට පත්වෙනවා. තම ප්‍රියතම ක්‍රීඩකයන් නැවත වරක් පිටියේදී දැකගැනීමට ලැබීමෙන් ක්‍රීඩා ලෝලීන් හොඳ විනෝදයක් ලබාගනීවි කියා මම හිතනවා. මමත් මේ තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තු වෙනවා.” යැයි නේරා පැවසීය.

 

-036


අදහස් (0)

සැබෑ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් ලීගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.