Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්නේහා - ටානියා ඉන්දියාව බේරා ගනිති

ස්නේහා - ටානියා ඉන්දියාව බේරා ගනිති

editorial - 2021 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ස්නේහා රානා (නොදැවී 80) සහ ටානියා භාතියා (නොදැවී 44) එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 104 ක නොබිඳුණ සම්බන්ධතාව හේතුවෙන් එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව බ්‍රිස්ටල්හිදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්කර ගැනීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. සිව්දින තරගයක් වූ මෙම තරගය සෙනසුරාදා අවසන් විය.

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ තරගය නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 344 ක් ලබා සිටියහ‍. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සොෆී එක්ල්ස්ටන්, ලකුණු 118 කට කඩුලු 4 ක් බිඳහෙළුවද ස්නේහා රානා (නොදැවී 80) සහ ටානියා භාතියා (නොදැවී 44) එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 104 ක නොබිඳුණ සම්බන්ධතාව හේතුවෙන් ඉන්දියාව පරාජයෙන් ගැලවිණ.

එංගලන්තයට ලකුණු 165 ක මුල් ඉනිමේ වාසියක් හිමිවූ හෙයින් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට සිදුවිය. සිය දෙවැනි ඉනිමේදී හත්වැනි කඩුල්ලත් ලකුණු 199 දී දැවී යන විට ඉන්දීය පිල ඉදිරියෙන් සිටියේ ලකුණු 34 කින් පමණි. එහෙත් ස්නේහා රානා සහ ටානියා එක්ව 344 ක් දක්වා ඉන්දීය පිල කැඳවාගෙන යමිත් තම පිල පරාජයෙන් බේරා ගත්හ.

ස්නේහා රානා හතරේ පහර 13 ක් සමග නොදැවී ලකුණු 80 ක් රැස්කරමින් තරගය නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියාය. එහිදී ශීඛා පාණ්ඩේ (18) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ස්නේහා, ඉන් නොනැවතී ටානියා භාතියා (නොදැවී 44) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද ගොඩනැගුවාය.‍

තෙවැනි දිනය වූ පෙරේදා (18 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 83 ක් ලබා සිටි ඉන්දීය ක්‍රීඩිකාවෝ ඊයේ සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 261 ක් එක්කර ගත්හ. එහිදී පිට පිටම සිය දෙවැනි අර්ධ ශතකය ලබාගත් ආරම්භක පිතිකාරිණී ශෆාලි වර්මා හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 63 ක් රැස්කළාය.

ශෆාලි සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගූ දීප්ති ශර්මා (54), ඉන් නොනැවතී පූනම් රාවත් (39) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය. පන්දු 168 කට මුහුණදෙමින් ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ දීප්ති හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසුවාය.
 

එංගලන්ත කාන්තා පිලේ පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 396
ඉන්දීය කාන්තා පිලේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 231
ඉන්දීය කාන්තා පිලේ දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 344

(ශිෆාලි වර්මා 63, දීප්ති ශර්මා 54, පූනම් රාවුට් 39, ස්නේහා රානා නොදැවී 80, ශීඛා පාණ්ඩේ 18, ටානියා භාතියා නොදැවී 44, සොෆී එක්ලස්ටන් 118/4, නටාලී ස්කයිවර් 21/2)

 


-036


අදහස් (0)

ස්නේහා - ටානියා ඉන්දියාව බේරා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.