Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංගා තාවකාලිකව ඩර්හැම් පිලට එක්වෙයි

සංගා තාවකාලිකව ඩර්හැම් පිලට එක්වෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටින වඩාත්ම පළපුරුදු වමත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ගිම්හානයේදී එංගලන්තයේ ඩර්හැම් පිල වෙනුවෙන් පළමු පෙළ තරග කිහිපයකට කී‍්‍රඩා කිරීමට නියමිතය. මැයි මස පළමුවැනි සතියේදී ආරම්භ වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අයර්ලන්ත සහ එංගලන්ත සංචාරයන් වෙනුවෙන් එංගලන්තයේ පාරිසරික සහ දේශගුණික තත්ත්වයන්ට හැඩගැසීමේ අරමුණ ඇතිව ඩර්හැම් පිල වෙනුවෙන් කෙටි කොන්ත‍්‍රාත්තුවක් ලබාගැනීමට කුමාර් සංගක්කාර ඉදිරිපත් වී තිබේ.

මේ අනුව මේ මස අවසන් සතියේදී සංගක්කාර ඩර්හැම් පිලට එක්වීමට නියමිතය. ඔහුගේ පළමු තරගය විය හැක්කේ යෝක්ෂයර් පිලට එරෙහිව පැවැත්වෙන තරගයයි.

තාවකාලිකව ඩර්හැම් පිලට එක්වීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර මැයි මස 6 සහ 8 දිනවල පැවැත්වීමට නියමිත එක්දින තරග දෙක සඳහා කී‍්‍රඩා කිරීමේ අවස්ථාව සංගක්කාරට අහිමි වනු ඇතැයිද වාර්තා වේ. එහෙත් මෙම එක්දින තරග දෙකම පැවැත්වෙන්නේ ටෙස්ට් වරම් හිමි නොවන කණ්ඩායමකට එරෙහිව වන බැවින් මෙන්ම වඩාත් වැදගත් වන්නේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය වන බැවින්, සංගක්කාරගේ ඉල්ලීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන බලධාරීන්ගේ අනුමැතිය හිමිවී ඇතැයිද වාර්තා වේ.

ටෙස්ට් සහ එක්දින තරග සඳහා ලෝකය පුරාම ‘කුකබරා’ වර්ගයේ පන්දු භාවිතා කෙරෙන නමුත් එංගලන්තයේ පැවැත්වෙන තරග සඳහා භාවිතා කෙරෙන්නේ ‘ඩියුක්’ වර්ගයේ පන්දුවයි. සංගක්කාරගේ මූලික අරමුණ වී ඇත්තේ මෙම ‘ඩියුක්’ පන්දුවට හුරු වීමයි.

කෙසේ වෙතත් මැයි මස 22 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගයට පෙර සංගක්කාර ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතය. ඇතැම් විට කෙන්ට් සහ එසෙක්ස් කණ්ඩායම් වලට එරෙහිව පැවැත්වෙන පුහුණු එක්දින තරග සඳහා කී‍්‍රඩා කිරීමටද සංගක්කාර සූදානම් බවත් වාර්තා වේ.

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරග 5 ක් පැවැත්වෙන අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජූනි මස 12 වැනිදා ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.


අදහස් (2)

සංගා තාවකාලිකව ඩර්හැම් පිලට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.