Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ඉරණම එංගලන්තය අතේ

ශ්‍රී ලංකා ඉරණම එංගලන්තය අතේ

editorial - 2021 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා නුවර සිට...)
 විශාල වෙනස්කම් කිරීමට වඩා එක් එක් ක්‍රීඩකයන් තමන්ට පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටුකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ නම් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය ජයගැනීම ශ්‍රී ලංකාවට එතරම් අපහසු කාර්යයක් නොවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (1 වැනිදා) පැවැත්වෙන තරගයට පෙර දිනයේදී (31 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු එසේ පැවසීය.

 “පසුගිය මාස කිහිපයේදීම අපේ පන්දු යවන්නෝ හොඳටම පන්දු යවලා තියෙනවා. ඒ නිසා අපිට පන්දු යැවීමේ ලොකු වෙනසක් කරන්න ඕන වෙයි කියලා මං හිතන්නෙ නෑ. වැදගත්ම දේ තමයි අපි අපේ මූලික රාජකාරිය හරියට කරන එකයි. එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කරපු එක තරගයකදිවත් ප්‍රතිවාදී පන්දු යවන්නෝ මුල් ඕවර 6 (අධිවේගී) තුළදී කඩුලු දෙක තුනක් දවාගෙන එයාලට පීඩනයක් දීලා නෑ. ඉතින් මං හිතනවා අපිට ඒ දේ කරන්න පුලුවන් නම් ඒකෙන් තරගයට ලොකු බලපෑමක් එල්ල වෙයි කියලා.” යැයි තීක්ෂණ පැවසීය.

 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (1 වැනිදා) රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය. මෙතෙක් සහභාගි වූ තරග 3 ම ජයගෙන සිටින එංගලන්තය මේ වන විට ලකුණු 6 ක් ලබා අපරාජිතව පළමු කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. ශ්‍රී ලංකාව තරග 3 කදී එක් ජයග්‍රහණයක් සහ පරාජයන් 2 ක් සමග ලකුණු 2 ක් පමණක් ලබා එම කාණ්ඩයේ සිවුවැනි ස්ථානයේ පසුවේ.

 ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳව තවදුරටත් බලාපොරොත්තු රඳවාගැනීම සඳහා අනිවාර්යෙන්ම අද තරගය ජයගත යුතුය. අද තරගය පරාජයට පත්වුහොත් මෙවර ලෝක කුසාලාන තරගාවලියෙන් ඉවතට විසිවන දෙවැනි කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. සහභාගි වූ මුල් තරග තුනේදීම පරාජයට පත්වූ බංග්ලාදේශය කල්වේලා ඇතිවම අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් අහිමි කරගත්තේ ය.  

 අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල වෙනසක් බලාපොරොත්තු විය නොහැකි නමුත්, අතිරේක දඟ පන්දු යවන්නකු කණ්ඩායම එක් කිරීම පිළිබඳව කණ්ඩායමේ කළමණාකාරීත්වයේ අදහසක් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එසේ වුවහොත් ධනංජය ද සිල්වාට හෝ අකිල ධනංජයට අද තරගයේදී කණ්ඩායමේ දොරටු විවරවීමේ හැකියාවක් ඇත. එසේම ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව හමුවේ තරමක පසුබෑමක් පෙන්නුම් කළ ළහිරු කුමාරට අද තරගයේදී කණ්ඩායමේ ස්ථානය අවිනිශ්චිතය.

 ශ්‍රී ලංකාව සහභාගි වූ මුල් තරග 4 දී කඩුලු 8 ක් දවාගැනීමට ළහිරු කුමාර සමත් වුවද, පස්වැනි තරගයේදී ළහිරු යැවූ ඕවර 3 දී ලකුණු 48 ක් රැස්කිරීමට ඕස්ටේ්‍රලියානු පිතිකරුවෝ සමත් වූයේ ඔහුට එක් කඩුල්ලක් හෝ ලබා නොදෙමිනි. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී සිය මුල් ඕවර 3 ලකුණු 17 කට සීමා කිරීමට ළහිරු සමත් වුවද, තීරණාත්මක අවසන් ඕවරයේදී ලකුණු 15 ක් ආරක්ෂා කරගැනීමට ඔහු අපොහොසත් විය.

 එංගලන්ත පිතිකරුවන්ද වේග පන්දු යවන්නන් හමුවේ දක්ෂ ලෙස පන්දුවවට පහරදෙන බැවින් අද තරගයේදී ළහිරුට විවේකයක් ලබාදීමට කණ්ඩායමේ කළමණාකාරීත්වය පියවර ගැනීමේ ඉඩක්ද පවතී. පසුගිය තරග කිහිපයේදී චාමික කරුණාරත්න යවා ඇත්තේ ඕවර 2 හෝ 3 ක් පමණක් වීමත්, නායක දසුන් ශානකටද තවත් ඕවයරක් හෝ 2 ක් යැවිය හැකි වීමත් ළහිරුට විවේකයක් දෙමින් අතිරේක දඟ පන්දු යවන්නකු කණ්ඩාමට කැඳවීම සඳහා මනා පිටිවහලක් වනු ඇත.

 අංක 4 ස්ථානයේ පන්දුවට පහරදෙන අවිෂ්ක ප්‍රනාන්දු පිතිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථක වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ කඩා වැටීමට බෙහෙවින්ම බලපා තිබේ. මූලික වටයේදී නැමීබියාවට එරෙහිව නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමෙන් අනතුරුව යළිත් ලකුණු අතරට පැමිණීමට අවිෂ්ක අපොහොසත් වී ඇත. ඉන් අනතුරුව පැවැති තරගවලදී ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ පිළිවෙලින් 0, නොදැවී 2, 0, 4 සහ 3 ක් ලෙසිනි. එබැවින් අද තරගයේදී සිය සුපුරුද රිද්මයට අවතීර්ණ වීමට ඔහු සමත් වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසි ගෙන දෙනු ඇත.

 නායක දසුන් ශානකද පසුගිය තරගවලදී පිතිකරුවකු ලෙස එතරම් සාර්ථකත්වයක් නොපෙන් වීය. ඕස්ටේ්‍රලියා තරගයේදී පන්දු 19 කදී ලකුණු 12 ක් රැස්කළ ඔහුට හතරේ පහරක් ගැසීම සඳහා පන්දු 18 ක් බලා සිටීමට සිදුවිය. දකුණු අප්‍රිකානු තරගයේදීද ඔහුට පන්දු 12 කින් හතරේ පහර 2 ක් සමග රැස්කරගත හැකි වූයේ ලකුණු 11 ක් පමණි. එබැවින් තරග දිනවන්නා නැතහොත් තරග අවසන් කරන්නා ලෙස කණ්ඩායමට සිය වගකීම් වඩාත්ම බලාපොරොත්තුවන තරගයක් ලෙස අද තරගය හැදින්විය හැකිය.

 ඕස්ටේ්‍රලියානු තරගයේදී ඇඩම් සම්පා (12/2) හමුවේද, දකුණු අප්‍රිකානු තරගයේදී තබ්බ්‍රෙස් ශම්සි (17/3) හමුවේද පන්දුවට පහරදීමේදී පසුගාමී බවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට, ඔවුන් දෙදෙනාට නොදෙවෙනි පා දඟ පන්දු යවන්නකු වන ආදිල් රෂීඞ්ට මුහුණදීම කෙරෙහි අද තරගයේදී විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව තිබේ. මේ දක්වා ක්‍රීඩා කළ තරග 3 දී කඩුලු 5 ක් දවාගෙන සිටින රෂීඞ්ගෙන් මෙන්ම තරග 3 කදී කඩුලු 7 ක් දවාගෙන සිටින ටයිමාල් මිල්ස්ගෙන්ද අද තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට එල්ල වන අභියෝගය සුළුපටු එකක් නොවනු ඇත.  
 
ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, අකිල ධනංජය, ළහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු
 
එංගලන්ත සංචිතය
ඔයින් මෝගන් (නායක), ජේසන් රෝයි, ජෝස් බට්ලර්, ඬේවිඞ් මලාන්, ජොනී බෙයාස්ටෝ, ලියාම් ලිවින්ග්ස්ටන්, මුයින් අලී, ක්‍රිස් වෝක්ස්, ක්‍රිස් ජෝඩාන්, ආදිල් රෂීඞ්, ටයිමාල් මිල්ස්, ඬේවිඞ් විලී, ටොම් කරන්, මාක් වුඞ් සහ සෑම් බිලින්ස්

 


අදහස් (0)

ශ්‍රී ලංකා ඉරණම එංගලන්තය අතේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.