Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් සුපිරි 4 දෙනාගේ වටයට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර ගියහ.
තමා මුහුණදුන් පන්දු 14 න් 5 ක්ම විදුලි වේගයෙන් හතරේ සීමාවෙන් එපිටට යැවූ භානුක රාජපක්ෂ (31), අවසන් ඕවර කිහිපයේදී ධනුෂ්ක ගුණතිලක සමග එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 15 කින් ලකුණු 32 ක්ද, වනිඳු හසරංග සමග එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 11 කින් ලකුණු 23 ක්ද එක්කරමින් ශ්‍රී ලකා කණ්ඩායමට ජයග්‍රණයේ දොරටු විවර කළේය. ජයග්‍රහණයට ලකුණු 2 ක් පසුපසින් සිටියදී භානුක දැවී ගියද, ඉන් පසුව පිටියට පිවිසි චාමික කරුණාරත්න හතරේ පහරකින් ජයග්‍රහණය තහවුරු කළේය.
නායකයා සහ උප නායකයා දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළ සවිමත් කළ ධනුෂ්ක ගුණතිලක අංක 4 පිතිකරු භූමිකාවට නව ජවයක් එක්කරමින් පන්දු 20 කදී ලකුණු 33 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. ලකුණු පිපාසයකින් මෙන් පිටියට පිවිසි මොහොතේ සිට පන්දුව පසු පස හඹාගොස් පහර එල්ල කළ වනිඳු හසරංග පන්දු 9 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 16 ක් රැස්කළේය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවම හතරේ සීමාව කරා යැවූ පැතුම් නිස්සංක (35), තෙවැනි ඕවරයේ අවසන් පන්දු දෙකටද පිට පිටම හතරේ පහර දෙකක් එල්ල කරමින් ආරම්භයේ සිටම ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන් පීඩනයට පත් කළේය. ඔහුට නොදෙවෙනි පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් (36), මුජිබුර් රහමාන්ගේ පන්දුවට ගැසූ හයේ පහරකින් සිය ප්‍රහාරය ආරම්භ කළ අතර ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ප්‍රධානම පන්දු යවන්නා වන රෂීඩ් ඛාන්ගේ පන්දු දෙකක් හමුවේ පිට පිටම ගැසූ හයේ පහර 2 කින් අධිවේගී ඕවර 6 නිමා කළේය.
පන්දු 39 ක් තුළ ගොඩනැගුණ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 62 කට සීමා කරමින් කුසල් පිටියෙන් ඉවත් කිරීමට නවීන් උල්හක්ට හැකි වූයේ කෙටි පන්දුවක් හමුවේ ඔහු ගැසූ පහරින් ඇදී ගිය පන්දුව ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ඊබ්‍රහීම් සද්‍රාන්ගේ දෑත් අතර සිරවීම හේතුවෙනි. එතැන් පටන් පන්දු 15 ක් තුළ ලකුණු 18 ක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වෙද්දී මුජිබුර් රහමන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් දෙමින් පැතුම්ද දැවී ගියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් තරමක් තක්බීරි කරමිනි.
මූලික වටයේ වටය යටතේ පැවැති තරග දෙකේදී ඇෆ්ඝනිස්ථානය හමුවේ ලකුණු නොළබාද, බංග්ලාදේශය හමුවේ එක් ලකුණකටද දැවී ගිය උප නායක චරිත් අසලංකට මෙම තරගයේදී පන්දු 14 කට මුහුණ දෙමින් ලබාගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි. බංග්ලෝදශ තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ නායක දසුන් ශානකටද මෙම තරගයේදී වැඩි යමක් කිරීමට නොහැකි විය. එම තරගයේදීම මෙන්ම මෙම තරගයේදීද ඔහු දැවී ගියේ ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක් ගැසීමට උත්සහ කිරීමේදීය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 175 ක් ලබාගත්තේය. ඕවර 18 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවූ ඇෆ්ඝනිස්ථාන කණ්ඩයමට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, අවසන් ඕවර 2 ලකුණු 12 කට සීමා කරමින් එහිදී කඩුලු 3 ක්ද දවාගත්‍හ.
ඇෆ්ඝනිස්ථාන ඉනිමේ තෙවැනි ඕවරයේදී මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ධනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් දෙමින් රහ්මනුල්ලා ගුර්බාස් දැවී ගියේය. එහෙත් එම දැවී යෑම පිළිබඳව වැඩි දුර පරික්ෂා කිරීම සඳහා තෙවැනි විනිසුරුගේ සහාය ලබාගැනීමට පිටියේ විනිසුරුවන් පියවර ගත් අතර උඩ පන්දුව රැකගැනීමේදී ධනුෂ්කගේ පාදය හතරේ සීමාවේ වදින බව නිරීක්ෂණය වීමත් සමග ගුර්බාස්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය.
ආරක්ෂාකාරී ආරම්භයක් ලබාගත්තද, මහීෂ් තීක්ෂණගේ සහ අසිත ප්‍රනාන්දුගේ ඕවර 2 කදී පිට පිටම ලකුණු 15 ක් සහ 14 ක් බැගින් රැස්කළ ගුර්බාස් (84) සහ හස්රතුල්ලා සසායි (13) පළමු කඩුල්ල සඳහා ලකුණු පන්දු 29 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහෙත් පැයට කිලෝ මීටර් 142 ක වේගයෙන් කඩුල්ල තුළට දෝලනය කළ පන්දුවකින් සසායිගේ පිට ඉන්න බිඳදැමූ දිල්ෂාන් මධුෂංක එම සම්බන්ධතාවට තිත තැබුවේය.
ඇෆ්ඝනිස්ථාන ඉනිමේ 9 වැනි ඕවරය අවසන් වන විටත් පන්දු යවන්නන් 5 දෙනකුගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා නායකයා පියවර ගෙන තිබුණද, ගුර්බාස්ගේ ගමන නවතාලීමට ඔවුන් කිසිවකුට නොහැකි විය. පන්දු 22 කදී සිය 5 වැනි විස්සයි-20 අර්ධ ශතකය සම්පූර්ණ කළ ගුර්බාස්, ඉන් නොනැවතී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 45 කදී ලකුණු 84 රැස්කරමින් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
කෙසේ වුවත් 8 වැනි ඕවරයේ 3 වැනි පන්දුවෙන් පසුව 13 වැනි ඕවරයේ පළමු පන්දුව දක්වා යැවූ පන්දු 28 දීම ඇෆ්ඝනිස්ථාන පිකිකරුවන්ට පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවීමට ඉඩක් නොදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වග බලාගත්හ. පළමු කඩුල්ල බිඳවැටීමෙන් පසුව ඒ දක්වාම එල්ල කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් පමණක් වුවත් කෙටි ලකුණු ලබා ගනිමින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 44 කදී ලකුණු 50 ක් එක් කිරීමට ගුර්බාස් සහ ඊබ්‍රහීම් සද්‍රාන් සමත් වූහ.
ඇෆ්ඝනිස්ථාන ඉනිමේ 13 වැනි ඕවරයේදී දසුන් ශානකගේ පන්දු හමුවේ ලකුණු 16 ක් රැස්කළ ගුර්බාස් සහ ඊබ්‍රහීම් සද්‍රාන් (40), ඉන් අනතුරුව චාමික කරුණාරත්න යැවූ ඕවරයේදී ලකුණු 21 ක්ද රැස්කරමින් ලකුණු ලබානීමේ වේගය වැඩි කළහ. වේගය අඩාල කරමින් අසිත ප්‍රනාන්දු යැවූ කෙටි පන්දුවකට ගුර්බාස් ගැසූ පහරකින් ඉහළ ගිය පන්දුව ඩීප් මිඩ් විකට් කළාපයේ සිට රැකගැනීමට වනිදු හසරංග සමත් වීම හේතුවෙන් පන්දු 64 කදී ගොඩනැගී තිබූ ඇෆ්ඝනිස්ථාන දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 93 කදී බිඳ වැටිණ.
ඇෆ්ඝනිස්ථානය
හස්රතුල්ලා සසායි - ප.මධුෂංක 13
රහ්මතුල්ලා ගුර්බාස් - ඇ.හසරංග ප.අසිත 84
ඊබ්‍රහීම් සද්‍රාන් - ඇ.අසිත ප.මධුෂංක 40
නජිබුල්ලා සද්රාන් - දුවද්දී දැවී ගියා 17
මොහොමඩ් නබී - ඇ. සහ ප.තීක්ෂණ 1
රෂීඩ් ඛාන් - දුවද්දී දැවී ගියා 9
කරීම් ජානට් - නොදැවී 0
අතිරේක 11
එකතුව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 175
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
ශමිවුල්ලා ශින්වාරි, නවීන් උල්හක්, මුජිබුර් රහමන් සහ ෆසාල්හක් ෆරූකි
කඩුලු වැටීම :
1-46(සසායි), 2-139(ගුර්බාස්), 3-151(ඊබ්‍රහීම්), 4-166(නබී), 5-166(නජිබුල්ලා), 6-175(රෂීඩ්)
පන්දු යැවීම :
මහීෂ් තීක්ෂණ 4-0-29-1, අසිත ප්‍රනාන්දු 4-0-34-1, දිල්ෂාන් මධුෂංක 4-0-37-2, වනිඳු හසරංග 4-0-23-0, චාමික කරුණාරත්න 2-0-29-0, දසුන් ශානක 2-0-22-0
ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.ගුර්බාස් ප.මුජිබුර් 35
කුසල් මෙන්ඩිස් - ඇ.ඊබ්‍රහීම් ප.නවීන් 36
චරිත් අසලංක - ප.නබී 8
ධනුෂ්ක ගුණතිලක - ප.රෂීඩ් 33
දසුන් ශානක - ඇ.නජිබුල්ලා ප.මුජිබුර් 10
භානුක රාජපක්ෂ - ප.නවීන් 31
වනිඳු හරසංග - නොදැවී 16
චාමික කරුණාරත්න - නොදැවී 5
අතිරේක 5
එකතුව ඕවර 19.1 කදී කඩුලු 6 ක් දැවී 179
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුෂංක සහ අසිත ප්‍රනාන්දු
කඩුලු වැටීම :
1-62(කුසල්), 2-80(පැතුම්), 3-94(චරිත්), 4-119(දසුන්), 5-151(ධනුෂ්ක), 6-174(භානුක)
පන්දු යැවීම :
ෆසාල්හක් ෆරූකි 3.1-0-34-0, මුජිබුර් රහමාන් 4-0-30-2, නවීන් උල්හක් 4-0-40-2, රෂීඩ් ඛාන් 4-0-39-1, මොහොමඩ් නබී 4-0-34-1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.