
ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන නැගී එන තරු ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත් විය. ඒ එම තරගාවලියේ 12 වැනි තරගය ලෙස බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවැති තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කරමිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 153 ක් පමණි. තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශ පිතිකරුවන්ට අවසන් ඕවරයේදී ලකුණු 18 ක් අවශ්‍යව තිබුණද, කඩුල්ලක් දවාගනිමින් එම ඕවරය ලකුණු 11 කට සීමා කළ මිලාන් රත්නායක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක දුනිත් වෙල්ලාලගේ සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළුවේ ප්‍රතිවාදී කණ්ඩායමේ නායක අක්බාර් අලීගේ (25) කඩුල්ලද සමගිනි. ටේරවීන් මැතිව්, ගරුක සංකේත් සහ මිලාන් රත්නායක කඩුල්ල බැගින් දවාගනිමින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා වෙල්ලාලගේට අනගි සහායක් දුන්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් ලකුණු 159 ක් ලබාගත් අතර අගනා පිතිහරඹයක නිරත වූ සහන් ආරච්චිගේ පන්දු 49 කින් ලකුණු 69 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. නායක වෙල්ලාලගේ පන්දු 14 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක් රැස්කළේය.
ලකුණු 51 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී රමේෂ් මෙන්ඩිස් (17) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සහන්, ඉන් නොනැවතී වෙල්ලාලගේ සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 159
(නුවනිඳු ප්‍රනාන්දු 15, සහන් ආරච්චිගේ 69, රමේෂ් මෙන්ඩිස් 17, දුනිත් වෙල්ලාලගේ 23, අබු හයිඩර් 37/2, රිපෝන් මොන්ඩොල් 41/2)
බංග්ලාදේශ ‘ඒ’ පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 153
(හබිබුර් රහමන් 27, ජිෂාන් අලම් 17, සාවද් අබ්‍රාර් 26, අක්බාර් අලී 25, අසීර් අලී 20, මෙහෙරබ් හසන් නොදැවී 16, දුනිත් වෙල්ලාලගේ 19/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.