ශ්‍රී ලංකා පිතිකරුවන් අද දිනයේ හොඳින් පන්දුවට පහර නොදුන් බව චමින්ද වාස් මහතා කියයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන චමින්ද වාස් මහතා අද සවස පැවැති පුවත් පත් සාකච්ඡාවේදී මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ වත්මත් තත්ත්වය පිළිබඳ කළ විමසීමේදීය.
“ඕනෑම කණ්ඩායමක් ලකුණු 600 ක් ලබාගැනීමෙන් ප්‍රතිවාදී පිතිකරුවන් පීඩනයට පත්වීම සාමාන්‍ය දෙයක්. ඒ වුණත් අපේ අය හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ. මේක කණ්ඩායමට ඉවසාගන්න පුළුවන් දෙයක් නෙමේ වුණත් මේ ක්‍රීඩාවේ හැටි එහෙම තමා” යයි චමින්ද වාස් මහතා කීවේය.
ඉන්දීය පිතිකරුවන් ලකුණු 600 ක් ලබාගත් තණතීරුවකදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 2 කට දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.
පසුව උපුල් තරංග සහ ධනුෂ්ක ගුණතිලක දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ගුණතිලක ලකුණු 16 කට දැවී යාමෙන් පසුව කුසල් මෙන්ඩිස්ද ලකුණු නොලබා දැවී ගියේ ලකුණු 68 දී තුන්වැනි කඩුල්ලත් බිම දමමිනි.
මැතිව්ස් සහ උපුල් තරංග දෙදෙනා ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් තරංග දුවද්දී දැවී යාමත් නිරෝෂන් දික්වැල්ල පිටියෙන් ඉවත් වීමත් අතර පැවැතියේ ලකුණු 18 ක පරතරයකි.
“මේ වෙනකොට ඇන්ජලෝ මැතිව්ස් සහ ඩිල්රුවන් දෙදෙනා තරමක් හොඳින් පන්දුවට පහර දෙනවා”
“අපේ බලාපොරොත්තුව මේ දෙන්නා හෙට දිවා ආහාරය වන තුරුවත් කඩුල්ලේ රැඳී සිටීවි කියායි. අපට හෙට තේ පානය වන තුරු පන්දුවට පහර දෙන්න පුළුවන් වුණොත් අප මුහුණ දී සිටින අසිරු තත්ත්වයෙන් ගොඩ ඒමේ අවස්ථාවක් තියෙනවා...ඒත් ඒ වෙනුවේන පළමු පැය දෙක හොඳින් පන්දුවට පහර දෙන්න ඕනෑ” යයිද චමින්ද වාස් මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.