Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා අවසර ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි20 තරගාවලිය නිමා වීමෙන් පසුව ඔවුන් දෙදෙනා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග එක්වීමට නියමිතය.
කෙසේ වුවත් ලෝක කුසලාන තරගාවලියේ පෙර හුරු තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා වනිඳු සහ චමීර ඔක්තෝබර් මස 10 වැනිදා නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව ඔවුන් දෙදෙනාට අයි.පී.එල්. තරගාවලියේ මූලික වටයේ ඉතිරි තරග සඳහා පමණක් සහභාගි වීමට හැකි වන අතර අවසන් වටයේ තරගවලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවනු ඇත.
මෑක කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් දැක්වූ කැපීපෙනෙන දස්කම් සැලකිල්ලට ගනිමින් අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස සඳහා වනිඳු සහ චමීර සිය කණ්ඩායමට එක්කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පියවර ගත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන ඇඩම් සම්පා සහ කේන් රිචඩ්සන්ගේ ආදේශකයන් ලෙසනි.
බැංගලෝර් කණ්ඩායමේ ආරාධනය පිළිගනිමින් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා ඔවුන් දෙදෙනා කළ ඉල්ලීම සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඒ සම්බන්ධයෙන් තාක්ෂණික උපදේශක කමිටුව සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන්ට අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටසේදී බැංගලෝර් කණ්ඩායම සමග එක්වීම සඳහා අවසර ලබා දුන්නේය.
එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු තරගාවලිය සැප්තැම්බර් මස 14 වැනිදා නිමාවට පත්වීමට නියමිත අතර එදිනට පසුදින එනම් සැප්තැම්බර් මස 15 වැනිදා වනිඳු සහ චමීර අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතය.
කොරෝනා වසංගතය හේතුවෙන් අතර මැද නතර කරන ලද මෙවර (2021) අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස සැප්තැම්බර් මස 19 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියේ මූලික වටයේ තරග 56 න් 29 ක් මේ වන විට අවසන් වී ඇති අතර එහි සෙසු තරග 27 ඔක්තෝබර් මස 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ අවසන් මහ තරගයද ඇතුළුව තරග 4 කින් සමන්විත වන අවසන් වටයේ තරග ඔක්තෝබර් මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මූලික වටයේදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව අනුව බැංගලෝර් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුවද, එහිදී ඔවුන්ට වනිඳුගේ සහ චමීරගේ සේවය ලබාගැනීමට නොහැකි වනු ඇත.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පෙර හුරු තරග සහ සුදුසුකම් ලැබීමේ වටයේ තරග ආරම්භ වීමට පෙර ශ්‍රි ලංකාව සහ ඕමානය අතර විස්සයි20 තරග දෙකක් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා කල් ලබාදී ඇති බැවින් ඔක්තෝබර් මස 7 වැනිදා සහ 9 වැනිදා ඕමානයේදී පැවැත්වෙන එම තරග දෙකේදී බොහෝ දුරට වනිඳු සහ චමීර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය නොකරනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.