ඉන්දියාවට එරෙහිව විශ්මයජනක අවසන් මහා තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් ලබා කාන්තා එක්දින ලෝක කුසලානය අත්පත් කරගත් සත්කාරක එංගලන්ත කාන්තා පිලේ මීළඟ ඉලක්කය ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන අළුබඳුන තරගාවලිය බව කණ්ඩායමේ පුහුණුකරු මාර්ක් රොබින්සන් පවසයි.
‘කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් හැටියට අපි තවමත් අංග සම්පුර්ණ නෑ. අපේ ක්‍රීඩිකාවන්ගේ දස්කම් තවත් මුවහත් විය යුතුයි. එතෙක් අපිට නිහතමානීව බලා සිටිය යුතුවෙනවා.‘ රොබින්සන් එසේ කියන්නේ අළු බඳුන තරගාවලියට ලබන ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන එංගලන්ත ක්‍රීඩිකාවන්ට අවවාදාත්මක ස්වරූපයකිනි.
මීට පෙර අවසන් වතාවට 2015 දී පැවැති අළු බඳුන තරගාවලියේ ජයග්‍රහණය අත්කර ගත්තේ ඕස්ට්‍රේලියාව බැවින් මෙවර රොබින්සන්ගේ ඉලක්කය වී ඇත්තේ නැවත එය එංගලන්තයට අත්කරදීමයි.
දෙපිලේම පිරිමි කණ්ඩායම් අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගමාලාවට සමගාමිව වසර දෙකකට වතාවක් දෙරටේ කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලිය පිරිමි තරගාවලියට වඩා හාත්පසින්ම වෙනස්ය. ඊට ඇතුළත් වන්නේ එක් ටෙස්ට් තරගයක් පමණි. ඒ හැරුණු විට එක්දින තරග 3 ක් සහ විස්සයි20 තරග 3 ක් පැවැත්වෙයි. අළු බඳුන හිමිවන්නේ මේ මුහුණුවර ත්‍රිත්වයේදීම වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායමටය.
ලෝඞ්ස් පිටියේදී පසුගිය ඉරිදා (23) පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මිලියන 100ක ප්‍රේක්ෂකයන් පිරිසක් රූපවාහිනිය මගින් නැරැඹූ බවට වාර්තා විය. එදින ලෝඞ්ස් පිටියත් අතුරු සිදුරු නැතිව පිරි ඉතිරී ගියේය.
‘ඒත් අපිට අළු බඳුන තරගාවලිය තමයි ලොකුම පරික්ෂණය වෙන්නේ. ඒත් අපි මේ පාර එහේ යන්නේ කාන්තා ලෝක කුසලානය දිනාගත් ශක්තිමත් හා විශ්වාසවන්ත කණ්ඩායමක් ලෙසයි. අළු බඳුන එංගලන්තයට රැගෙන ඒම තමයි අපේ අභියෝගය.‘ යයි රොබින්සන් කියයි.
-077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.