මාර්ලිබෝන් ක්‍රිකට් සභාපති සංගක්කාරට කාල දිගුවක්
එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී.) සභාපති වශයෙන් කටයුතු කරමින් සිටින කුමාර් සංගක්කාරට තවත් වසරක කාලයක් එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්න’යි ආරාධනා කිරීමට එම්.සී.සී. සාමාජිකයෝ සූදානම් වෙති.
කෝවිඞ් - 19 වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එම්.සී.සි. ක්‍රීඩා සමාජයේ කටයුතු බොහොමයක් කල්දැමීමට හෝ අවලංගු කිරීමට සිදුවිය. එබැවින් සංගක්කාර මහතාගේ නිල කාලයේදී ඔහුගේ සේවය නිසි අයුරින් ලබාගැනීමට නොහැකි වීම නිසා ඔහුට කාල දිගුවක් දීම සම්බන්ධයෙන් මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සාමාජිකයෝ සිතා බලමින් සිටිති.
වසර 200 කට වැඩි ඉතිහාසයක් තිබෙන, එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ හිමිකරුවන් වන, මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වූ පළමු වැනි ඉංග්‍රීසි නොවන ජාතිකයා කුමාර් සංගක්කාර මහතාය. ඔහු පසුගිය වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වශයෙන් වැඩ බාරගත්තේය. කෝවිඞ් -19 වසංගතය ලෝ පුරා පැතිරීම ආරම්භ වීමට පෙර එම්.සී.සී. පිල සමග පාකිස්තානයේ සංචාරය කළ සංගක්කාර මහතා එහිදී පැවැති විස්සයි-20 තරග දෙකකදී එම්.සී.සී. පිලට නායකත්වය දුන්නේය.
සම්ප්‍රදාය අනුව මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වසරක කාලයක් එම ධූරයේ කටයුතු කරයි. එහෙත් පළමු වැනි ලෝක යුද්ධ සමයේදී හෝක් සාමිවරයාද (1914 - 1918) දෙවැනි ලෝක යුද සමයේදී ස්ටැන්ලි ක්‍රිස්ටොපර්සන් මහතාද (1939 - 1945) වසරකට වැඩි කාලයක් එහි සභාපතිවරු වී සිටියහ.
සංගක්කාර මහතා තවදුරටත් සභාපති තනතුරේ රඳවා ගැනීම සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමක් ජූනි මස 24 වැනිදා ලෝඞ්ස්හි වාර්ෂික මහ සභා රැස්වීමේදී පැවැත්වෙයි. ඒ අතරවාරයේදීම අලුතෙන් එක්වන යාවජීව සාමාජිකයන්ගේ ආදායමෙන් ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ ‘ඩෙනිස් කොම්ප්ටන් ප්‍රේක්ක්‍ෂකාගාරය සහ ‘ජෝන් එඞ්රිජ් පේ්්‍රක්‍ෂකාගාරය සංවර්ධනය කිීරීම අරමුණු කරගනිමින් මුදල් එක්රැස් කිරීමටද බලාපොරොත්තු වෙයි.
එම්.සී.සී. හි ලේකම්වරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාද වන ගයි ලැවෙන්ඩර් මහතා සිය සාමාජිකයන්ට ලිපියක් ලියමින් කියා සිටියේ ක්‍රීඩා සමාජය මූල්‍ය අර්බුදයකට මැදිව නොසිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් සඳහා කලින්ම තීරණ කිහිපයක් ගැනීම වඩාත් වැදගත් විය හැකි බවයි.
මෙවර ගිම්හානයේදී ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබිණ. බටහිර ඉන්දීය කොදෙව් පිල සහ පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ එම ටෙස්ට් තරග දෙකම පැවැත්වෙන දිනයක් තවමත් තීරණය කර නැත. ඊට අමතරව පන්දු 100 තරගාවලියේ අවසන් මහ තරගයද ලෝඞ්ස් පිටියේ පැවැත්වීමට තීරණය කර තිබුණද එම තරගාවලිය ලබන වසරට කල්දමා තිබේ.
කෝවිඞ් -19 වයිරසයේ බලපෑම හේතුවෙන් එංගලන්තයේ සියලුම ක්‍රිකට් තරග ජූලි මස 1 වැනිදාට පෙර නොපැවැත්වීමට තීරණය කර ඇති අවස්ථාවක, ප්‍රේක්‍ෂකයන් නොමැතිව තරග පැවැත්වීම සම්බන්ධයෙන්ද අදහස් ඉස්මතු වෙමින් තිබේ. එවන් වාතාවරණයකදී මේ වසර තුළ ලෝඞ්ස්හිදී ප්‍රධාන පෙළේ තරගයක් පැවත්වීම සම්බන්ධයෙන් ඇත්තේ අවිනිශ්චිතතාවකි. එවන් තත්ත්වයකදී ලෝඞ්ස් ආදායම පවුම් මිලියන ගණනකින් පහළ ගියද පවුම් මිලියන 50 කට වැඩි ප්‍රමාණයක් වැයවන සංවර්ධන කටයුතු අතහැර දැමීමට ක්‍රිකට් ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජය සූදානම් නොවේ.
‘ඩෙනිස් කොම්ප්ටන්’ ප්‍රේක්ක්‍ෂකාගාරය සහ ‘ජෝන් එඞ්රිජ් පේ්්‍රක්‍ෂකාගාරය සංවර්ධනය කිීරීම මගින් ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ ආසන සංඛ්‍යාව 31,000 දක්වා වැඩිකෙරෙනු ඇත.
- 213