Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරගයෙන් ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු කණඩායම බවට පත්වීමටද එංගලන්තයට හැකි විය.
මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඇති අවස්ථාව කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් මෙන් බවට පත් විය. ඒ සඳහා ශ්‍රී ලංකාව එළබෙන 4 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරගය ඉහළ දළ ලකුණු වේගයක් රඳවාගනිමින් ජයගත යුතු වන අතර ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව ඔවුන් සහභාගි වීමට නියමිත සෙසු තරග හතරේදීම පරාජයට පත්වන තෙක්ද බලා සිටීමට සිදුවනු ඇත.
ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 19 ක් අවසානයේ ලකුණු 137 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 8 ක් ඇතුළත බිඳහෙළු එංගලන්ත පන්දු යවන්නෝ තවත් ඕවරයක් ඉතිරිව තිබියදීම සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ආදිල් රෂීඩ්, මුයින් අලී සහ ක්‍රිස් ජෝඩාන් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
ලකුණු 76 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී පිටියේ එක්වූ නායක දසුන් ශානක (26) සහ වනිදු හසරංග (34) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 53 සම්බන්ධතාවක් ගොඩනැගුවද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ජේසන් රෝයි සහ ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි අතිරේක ක්‍රීඩක සෑම් බිලිංග්ස් එක්ව රැකගන්නා ලද අති විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන් එම සම්බන්ධතාව නිමාවට පත් විය.
එය සාර්ථක ලෙස රැකගත් උඩ පන්දුවක් බවට තෙවැනි විනිසුරු තහවුරු කිරීමත් සමග පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක් ලබා සිටි වනිඳුට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. කඩුලු අතර දිවයාමට ගත් උත්සායකදී ඇතිවූ වැරදි අවබෝධයක් හේතුවෙන් නායක දසුන් ශානකද (26) දුවද්දී දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් රඳවාගෙන සිටි අවසන් බලාපොරොත්තුවද සුනුවිසුණු කර දමමිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි චාමික කරුණාරත්නට (0) මෙන්ම දුෂ්මන්ත චමීටරද (4) පිත්තෙන් මැජික් පෙන්වීමට නොහැකි විය.
ලකුණු 13 ක් ලබා සිටියදී ආදිල් රෂීඩ්ගේ පන්දුවක් හමුවේ (7.4) ලබාදුන් උඩ පන්දුවක් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ක්‍රිස් වෝක්ස් අතින් ගිළිහී යෑමත් සමග භානුක රාජපක්ෂට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව හිමිවිය. එහෙත් එම අවස්ථාවෙන් නිසි ඵල නෙලාගැනීමට භානුක අසමත් වූ අතර ක්‍රිස් වෝක්ස්ගේ පන්දු හමුවේ පිට පිට හයේ පහරක් සහ හතරේ පහරක් ගැසීමෙන් අනතුරුව ලබාදුන් උඩ පන්දුවක් ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ජේසන් රෝයිගේ දෑත් අතර සිරවීමත් සමග භානුකගේ ඉනිම නිමාවට පත් විය.
තරගාවලිය පුරා දිගින් දිගටම අසාර්ථක වූ අවිෂ්ක ප්‍රනාන්දු මෙම තරගයේදීද ලකුණු අතරට පැමිණීමට අපොහොසත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක සම්බන්ධතාවයක අවශ්‍යතාව දරුණුවටම දැනී තිබූ අවස්ථාවක ක්‍රිස් ජෝඩාන්ගේ යෝකර් පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවන විට අවිෂ්ක ලබා සිටියේ ලකුණු 13 ක් පමණි. නැමීබියාවට එරෙහිව නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමෙන් අනතුරුව ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ පිළිවෙලින් 0, නොදැවී 2, 0, 4 සහ 3 ක් ලෙසිනි.
නොතිබූ ලකුණක් සඳහා පැති මාරු කරගැනීමට යෑමෙදී දුවද්දී දැවී යෑමකට හසුවෙමින් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක් ලකුණකට දැවී ගියේය. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට එල්ලවී තිබූ පීඩනයෙන් කණ්ඩායම මුදවාගැනීමේ උත්සාහයක නිරත වූ චරිත් අසලංකටද (21) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොහැකි විය. තමා යැවූ තෙවැනි පන්දුවේදීම අසලංක දවාගත් ආදිල් රෂීඩ්, වැඩි වේලාවක් යෑමට පෙර කුසල් පෙරේරාද (7) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැව්වේය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම, ජොස් බට්ලර්ගේ (නොදැවී 101) අගනා පිතිහරඹය හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 163 ක් ලබාගත්තේය. ලකුණු 35 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී නායක ඔයින් මෝගන් (40) සමග එක්වූ ජොස් බට්ලර්, පන්දු 78 කදී ලකුණු 112 ක සම්බන්ධතාවක් ගොඩනගමින් අඩ පණ වී තිබූ එංගලන්ත ඉනිමට නව ජවයක් එක් කළේය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මුල් ඕවර 6 (අධිවේගී ඕවර) අවසානයේ කඩුලු 3 ක් දැවී එංගලන්ත පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 36 ක් පමණි. එතැන් පටන් තරමක් ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වූ එංගලන්ත පිතිකරුවන් 12 වැනි ඕවරය දක්වා ඕවර 6 තුළ ලකුණු 25 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් චාමික කරුණාරත්න යැවූ 13 වැනි ඕවරයේදී ලකුණු 14 ක්ද, ළහිරු කුමාර යැවූ 15 වැනි ඕවරයේදී ලකුණු 22 ක්ද, දසුන් ශානක යැවූ 18 වැනි ඕවරයේදී ලකුණු 19 ක්ද රැස්කරමින් එංගලන්ත පිතිකරුවෝ හිස එසවූහ.
එහිදී විස්සයි-20 ලකුණු 2000 සීමාවද පසුකර ගිය බට්ලර්, පන්දු 67 කදී ලබාගත් සිය මංගල විස්සයි-20 ශතකය හයේ පහර 6 කින් සහ හතරේ පහර 6 කින් සැරසුවේ එංගලන්ත කණ්ඩායමේ ගැළවුම්කාරයා බවට පත්වෙමිනි. ලකුණු 93 ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩ පන්දුවක් ඩීප් බැක්වඩ් ස්ක්වෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි පැතුම් නිස්සංක අතින් ගිළිහී යෑමත් සමග බට්ලර්ට ශතකය කරා යෑමට අවස්ථාව උදා විය.
එංගලන්ත ඉනිමේ 14 වැනි ඕවරය යැවීමෙන් අනතුරුව සිය අවසන් ඕවරය යැවීම සඳහා වනිඳු හසරංගට 19 වැනි ඕවරය දක්වාම බලා සිටීමට සිදුවිය. යළිත් පන්දුව අතට ගත් විගස නායක ඔයින් මෝගනන්ගේ කඩුල්ල බිඳ දමමින් එංගලන්ත ඉනිමේ සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමා කිරීමට වනිඳු සමත් වුවද, ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබූ හානිය අවම කිරීම සඳහා එම කඩුල්ල ප්‍රමාණවත් නොවීය. දැවී යන විට පන්දු 36 කට මුහුණදී සිටි මෝගන්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ඇතුළත් වී තිබිණ.
තමා යැවූ දෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු ජේසන් රෝයිගේ (9) කඩුල්ල බිඳ දැමූ වනිඳු හසරංග, ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම ජොනී බෙයාස්ටෝ (0) පිටියෙන් ඉවත් කළේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගනිමිනි. එම කඩුලු 2 ම දවාගැනීම සඳහා වනිඳු උපයෝගී කරගත්තේ තමා සතුව පවතින හොඳම අවිය වන ගුග්ලි පන්දුව වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. කඩුල්ල තුළට දෝලනය වූ චමීරගේ පන්දුවක් හමුවේ මුළුමුනින්ම පරාජයට පත්වන විට ඩේවිඩ් මලාන් ලබා සිටියේ ලකුණු 6 ක් පමණි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අතිරේක දඟ පන්දු යවන්නකු නොමැති වීමේ අඩුව තදින්ම දැනුණ අතර දඟ පන්දු යවන්නන් දෙදෙනාගේ ඕවර 8 දී කඩුලු 3 ක් ලබා දෙමින් ලකුණු 34 කට සීමා වූ එංගලන්ත පිතිකරුවෝ, වේග පන්දු යවන්නන්ගේ ඕවර 12 තුළදී එක් කඩුල්ලක් ලබා දෙමින් ලකුණු 128 ක් රැස්කිරීමට සමත් වූහ. කඩුලු ලබාගැනීමට නොහැකි වුවද එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මහීෂ් තීක්ෂණ, සිය ඕවර 4 ලකුණු 13 ට සීමා කළේ ප්‍රතිවාදී පිතිකරුවන්ට එක් 6 ක් හෝ 4 ක් ලබා නොදෙමිනි
iks chandrasiri Monday, 01 November 2021 11:31 PM
අපේ කණ්ඩායම දුර්වල නෑ. නමුත් එංගලන්තය සුපිරියි. එංගලන්තය ලෝක කුසලානය ගනියි...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.