Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් සියරට පැමිණීම තරගාවලි ජයග්‍රහණයකින් සැමරූ පාකිස්තානුවෝ කරච්චියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 263 කින් පරාජය කළහ. අද (සඳුදා) පෙරවරුවේදීම ලබාගත් ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙසින් ජයගත් අසාර් අලිගේ පාකිස්තානු කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහා ප්‍රසාද ලකුණු 80 ක් හිමිකර ගත්තේය.
පළමු තරගය පමණක් ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට මෙම තරගාවලියේදී හිමිවූයේ ප්‍රසාද ලකුණු 20 ක් පමණි.
ලකුණු 476 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය අවසන් කළේ කඩුලු 7 කට ලකුණු 212 ක් ලබා සිටිමිනි. එහෙත් අවසන් දිනය වූ අද (23 වැනිදා) සිය ජයග්‍රහණය වෙනුවෙන් පාකිස්තානුවන්ට වෙහෙසීමට සිදුවූයේ විනාඩි 14 ක් ඇතුළදී යැවූ පන්දු 16 කට පමණි. අද දිනයේ එකම ලකුණක් හෝ ලබාගැනීමට පෙර ශ්‍රී ලංකා පිලේ අවසන් පිතිකරුවෝ දෙදෙනා මෙන්ම පෙර දිනයේ සිට කඩුල්ල ආරක්‍ෂා කරගෙන සිටි ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දුත් දැවී ගියහ.
තවමත් 16 හැවිරිදි වියේ සිටින නසීම් ෂා, ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගනිමින්, ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් ලෝකයේ දෙවැනි ළා බාලතම පන්දු යවන්නා බවට පත්විය. අද වන විට අවුරුදු 16 දින 307 ක් වයසැති නසීම් ෂා, ශ්‍රී ලංකා කණ්ඩායම දවාගැනීමෙන් පසුව ආපසු ක්‍රීඩාගාරයට ගිය පාකිස්තානුවන් අතරේ පෙරමුණ ගත්තේ පන්දුවත් සියතට ගනිමිනි.
ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් ලෝකයේ ලාබාළතම පන්දු යවන්නා වන්නේ වමතින් පා දඟ පන්දු යවන්නකු වූ නසීම් උල් ඝානිය. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව, ජෝර්ජ්ටවුන්හිදී, 1957-58 තරගවාරයේදී කඩුලු 5 ක් දවාගන්නා විට නසීම් උල් ඝානිගේ වයස අවුරුදු 16 යි දින 303 ක් විය.
අද දිනයේ ක්‍රීඩාව ආරම්භ වූයේ නසීම් ෂා විසින් යවන ලද පළමු පන්දුවේදීම ලසිත් ඇඹුල්දෙණිය දැවී යාමෙනි.
නොදැවී සිටි ආරම්භක පිතිකරුවා වූ ඕෂධ ප්‍රනාන්දු අනෙක් අන්තයෙන් දවාගැනීමට යසීර් ෂා සමත් වූයේය. පන්දු 180 කට මුහුණ දී සිටි ඕෂධ ලබාගත් ලකුණු 102 ට හතරේ පහර 13 ක් ඇතුළත් විය. අනතුරුව විශ්ව ප්‍රනාන්දුගේ ඉනිම අවසන් කළ නසීම් ෂා සිය මව්බිමේදී මංගල ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටි තවත් ක්‍රීඩකයන් 10 දෙනකුගේ මනදොළ පිරවූහ.
මෙය පාකිස්තානු කණ්ඩායමක් වසර 27 කට පසුව ශ්‍රී ලංකා පිල පාකිස්තානයේදී පරාජය කිරීමකි. පාකිස්තානු පිල අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියකින් පරාජය කළේ 1992 දීය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝරයේදී ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දෙන විට නසීම් ෂාගේ වයය යන්තම් අවුරුදු 6 ක් විය. එතැන් පටන් පාකිස්තානුවන් සිය ටෙස්ට් තරග සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරා ගත්හ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූලස්ථානය පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් කොටසේ අන්තර්ජාතික ක්‍රීඩාංගණ තුනක් තිබේ. ඩුබායි, අබුඩාබි සහ සාජා නුවර වල මෙම ක්‍රීඩාංගණ පිහිටා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේදී විස්සයි-20 තරගයක් සඳහා පාකිස්තානයට ගිය අතර පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී විස්සයි-20 තරගාවලියක් සහ එක්දින තරගාවලියක් සඳහාත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කළේය. 2009 ලාහෝර් ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේදී සෑම අකාරයේම ක්‍රිකට් තරග වලට සහභාගි වූ මුල්ම ජාතික කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසයට එක්විය.
“අපේ හදවත් පතුළෙන්ම අපි ශ්‍රී ලංකාවට ස්තුතිවන්ත වෙනවා....පාකිස්තානයේ ක්‍රීඩා කිරීම මගින් ඔවුන් අපට වචනයෙන් කියන් බැරි තරම් සතුටක් ගෙනත් දුන්නා. ඒක හරිම හැඟීම් බරයි” යයි පාකිස්තානු නායක අසාර් අලි තරගයෙන් අනතුරුව පැවසීය.
පළමු ඉනිමේදී ලකුණු 80 ක වාසියක් ලබාගත් නමුත් තරගයේ වාසිය මිටමොළවා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තමන්ගේ කණ්ඩායමේ අඩුව පිළිගත්තේය.
“අපි පළමු දින දෙකේදීම තරගයේ පාලනය අතේ තියාගෙන හිටියා. ඒත් ඔවුන් ඊට පස්සේ ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් නැවත වරක් පීඩනය අප වෙත එල්ල කළා. මුල් ඉනිමේදී ලකුණු 80 ක වාසියක් අතේ තිබුණත්, ඔවුන් වෙත නැවතත් පීඩනය එල්ල කරන්න අපි අපොහොසත් වුණා” යයි දිමුත් කරුණාරත්න පැවසීය.
පළමු ඉනිමේදී ලකුණු 191 කට දැවී ගිය නමුත් දෙවැනි ඉනිමේදී කඩුලු 3 කට ලකුණු 555 ක් රැස්කළ පාකිස්තානුවෝ තරගය ඔළුවෙන් හිටවූහ. තරගයේ වීරයා මෙන්ම තරගාවලියේත් වීරයා වූ අබීඞ් අලී ලකුණු 174 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු ශාන් මසූඞ් ලකුණු 135 ක් ද, නායක අසාර් අලීගෙන් ලකුණු 118 ක්ද, බාබර් අසාම්ගෙන් නොදැවී ලකුණු 100 ක් ද පාකිස්තානු දෙවැනි ඉනිමට එක්විය.
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.