(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමු දින වූ අද (23 වැනිදා) ශතකයක් වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන (124) සමත් විය.
ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ නවෝද්, පන්දු 260 කට මුහුණ දෙමින් ලබාගත් එම ශතකය හතරේ පහර 8 කින් සමන්විත විය. මේ දක්වා පළමු පෙළ තරග 51 කට ක්‍රීඩා කර ඇති නවොද් එහිදී ලබාගත් තෙවැනි ශතකය මෙන්ම මෙවර තරගාවලියේදී ලබාගත් පළමු ශතකයද මෙය විය.
මුලු ලකුණු සංඛ්‍යාව 15 ක් වන විට පළමු කඩුල්ල ලෙස සිතාර හපුහින්න (12) දැවී යෑමත් සමග නායක මිනෝද් භානුක (62) සමග එක් වූ නවෝද්, ද්‍රවිඩ සංගම් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ඉන් නොනැවතුණු ඔහු තෙවැනි කඩුල්ල සඳහා තුලින දිල්ෂාන් (39) සමග එක්ව ලකුණු 68 ක්ද එක් කළේය.
භානුකගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින්ද, දිල්ෂාන්ගේ ඉනිම හතරේ පහර 5 කින්ද සමන්විත විය. පළමු දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ද්‍රවිඩ සංගම් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 306 ක් ලබා සිටියේය. එහිදී තික්ෂිල ද සිල්වා සහ කල්හාර සේනාරත්න කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 306
(නවෝද් පරණවිතාන නොදැවී 124, මිනෝද් භානුක 62, තුලින දිල්ෂාන් 39, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 40, තික්ෂිල ද සිල්වා 50/2, කල්හාර සේනාරත්න 109/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.