දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයත් කල්යයි

කොරෝනා වයිසරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන හානිය එන්න එන්නම වැඩිවී තිබේ. එහි අලුත්ම බලපෑම වන්නේ ලබන ජූනි මාසය ආරම්භයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු තරගාවලියත් දින නියමයකින් තොරව කල්දැමීමට සිදුවීමයි.
පසුගිය මාසයේ මුල් සතියේදී කොරෝනා වයිසරය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ ආරම්භ වීමත් සමගම ඒ වන විටත් ශ්‍රී ලංකාවේ සිටි එංගලන්ත කණ්ඩායම තරගාවලිය අතහැර දමා රටින් පිටව ගියේය. එයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අහිමි වූ මුදල අති විශාලය. දැන් දකුණු අප්‍රිකානු තරගාවලියත් කල්දැමීමට සිදුවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායම තවත් පහළ බසින තත්ත්වයක් ඇතිවී තිබේ.
ඊට අමතරව, යම් හෙයකින් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියත් මේ වසරේදී පැවැත්වෙන්නේ නම් ඒ වෙනුවෙන් ලබාගත හැකිව තිබූ අගනා පෙරහුරුවක්ද ශ්‍රී ලංකා පිලට අහිමි වෙයි. සීමිත ඕවර තරගාවලියක් වූ මෙම තරගාවලියට එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වී තිබිණ.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ මෙම තරගාවලිය අවලංගු කර නැතත් අන්තර්ජතික ක්‍රිකට් සභාවේ මීළඟ සාකච්ඡා වාරයෙන් පසුව එය කවදා පැවැත්වීමට හැකිවේද යන්න කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. කෝවිඩ් - 19 වයිරසයේ පීඩනයට නතුවූ අන්තර්ජාතික ක්‍රිකට් දින දර්ශනය නැවත සකස් කිරිම සඳහා අන්තර්ජතික ක්‍රිකට් සභාව මේ මස 23 වැනිදා රැස්වෙයි.
තරගාවලියේ වඩාත්ම අවිනිශ්චිත තත්ත්වය වී ඇත්තේ කොවිඩ් - 19 වයිරසය මේ වන විට දකුණු අප්‍රිකානු මහාද්වීපය දෙසට හැරී තිබීමයි.
මේ අතර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවේ නව අධ්‍යක්ෂකවරයා වන ග්‍රේඒම් ස්මිත් මහතා අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවා සමග පවසා ඇත්තේ කිසියම් තරගාවලියක් සඳහා පිටත්ව යාමට පෙර ක්‍රීඩකයන්ට සති හයක වත් සූදානමක් අවශ්‍ය වන බවයි.
දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරය නවතම එක්දින අන්තර්ජතික ලීග් තරගාවලියට ඇතුළත් තරගාවලියකි. වසර දෙකක කාලයක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු රටවල් 12ත් නෙදර්ලන්තයත් ඇතුළත් කර තිබේ. මෙම ලීග් තරගාවලියේ හොඳම කණ්ඩායම් අට වසර 2023 දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට නිරායාසයෙන් සුදුසුකම් ලබනු ඇත.