Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩේවිඩ් මිලර් ශ්‍රී ලංකාවේ ජය උදුරාගනී

ඩේවිඩ් මිලර් ශ්‍රී ලංකාවේ ජය උදුරාගනී

editorial - 2021 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ 25 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සුපිරි 12 දෙනාගේ වටය යටතේ අද (30 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙම තරගයට පෙර පළමු කාණ්ඩයේ තෙවැනි ස්ථාන‍යේ පසුවූ දකුණු අප්‍රිකාවට මෙම ජයග්‍රහණයත් සමග තවදුරටත් එම ස්ථානය රැකගැනීමටද අවස්ථාව උදා විය.

මෙම තරගයේ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඇති ඉඩ කඩ සීමා විය. ඒ සඳහා ඔවුන් එංගලන්තයට එරෙහිව 1 වැනිදා පැවැත්වෙන තරගය මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 4 වැනිදා පැත්වෙන තරගයද අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබේ. එපමණක් නොව පළමු කණ්ඩයේ ‍සෙසු කණ්ඩායම් ඉතිරි තරග පරාජයව‍න තෙක්ද ශ්‍රී ලංකාවට බලා සිටීමට සිදුවනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකණු 143 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩක‍යෝ එක් පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. තරගය ජයගැනීම සඳහා ළහිරු කුමාර යැවූ අවසන් ඕවරයේදී දකුණු අප්‍රිකාවට ලකුණු 15 ක් රැස්කිරීමට සිදුවිය. එහි දෙවැනි සහ තෙවැනි පන්දුවලට පිට පිටම හයේ පහර 2 ක් ගැසූ ‍ඩේවිඩ් මිලර් (නොදැවී 23) සහ පස්වැනි පන්දුවට හතරේ පහරක් ගැසූ කගිසෝ රබාඩා (නොදැවී 13) සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

මුලු ලකුණු සංඛ්‍යාව 25 ක් වන විට ආරම්භක පිතිකරු‍වන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දුෂ්මන්ත චමීර සමත් වීම හේතුවෙන් දකුණු අප්‍රිකාවේ ආරම්භය එතරම් යහපත් නොවීය. සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් රීසා හෙන්ඩ්‍රික්ස්ද (11), සිවුවැනි පන්දුවේදී චමීර අත‍ටම උඩ පන්දුවක් දෙමින් ඩි’කොක්ද පිටියෙන් ඉවත්ව ගියහ. තෙවැනි පිතිකරුවා වූ රාසි වැන්ඩර් ඩසන්ද (16) දුවද්දී දවාගැනීමකට හසුකරගත් දසුන් ශානක දකුණු අප්‍රිකාවේ පීඩනය වැඩි කළේය.

කෙසේ වුවත් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 47 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ටෙම්බා බවුමා (46) සහ ඒඩ්න් මාක්‍රම් (19) දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු රැගෙන ආහ. එහෙත් 15 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී මාක්‍රම්ගේ කඩුල්ල බිඳදැමූ වනිඳු හසරංග, 18 වැනි ඕවරයේ පළමු සහ දෙවැනි පන්දුවලදී බවුමා සහ ඩ්වේන් ප්‍රි‍ටෝරියස්ද (0) දවාගැනීමත් සමග දකුණු අප්‍රිකානුවන්ගේ නළල් තල රැළි ගැන්විණ.  

වනිඳුගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ලකුණු 112 කට කඩුලු 4 ක්ව තිබූ  දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ලකුණු 112 කට කඩුලු 6 ක් බවට පත් විය. එහෙත් ඉන් පසුව පිටියේ එක්වූ ඩේවිඩ් මිලර් සහ කගිසෝ රබාඩා 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 15 කදී ලකුණු 34 ක වේගවත් නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. එහිදී වනිඳු සහ චමීර හැරුණු කොට සෙසු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කඩුලු ලබාගැනීමට අසමත් වූහ.

මෙම තරගයේදී ලබාගත් කඩුලු ත්‍රිත්වයත් සමග විස්සයි-20 ලෝක කුසාලන තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් තෙවැනි පන්දු යවන්නා ලෙසද, එක්දින සහ විස්සයි-20 යන ආකෘති දෙකේදීම කඩුලු ත්‍රිත්ව ලබාගත් සිවුවැනි පන්දු යවන්නා ලෙසද වනිඳු වාර්තා අතරට එක් විය. මින් පෙර 2007 ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලීද, මෙවර (2021) ලෝක කුසලාන තරගාවලියේදී අයර්ලන්තයේ කර්ටිස් කැම්පර්ද කඩුලු ත්‍රිත්ව ලබාගත්හ. වනිඳුට පෙර බ්‍රෙට් ලී, තිසර පෙරේරා සහ ලසිත් මාලිංග එක්දින සහ විස්සයි-20 ආකෘතීන් දෙකේදීම කඩුලු ත්‍රිත්ව ලාභී පන්දු යවන්නෝ වූහ.  

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 142 ක් ලබාගත්තේය. මුල් ඕවර 6 (අධිවේගී) තුළදී කඩුල්ලක් දැවී ලකුණු 39 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඕවර 10 ක් අවසන් වන විටත් කඩුලු 3 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 61 ක් පමණි.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වෙමින් එක් අන්තයක් රැගෙන සෙමින් සෙමින් සිය දෙවැනි විස්සයි-20 අර්ධ ශතකය කරා ‍ගියේය. එහිදී අර්ධ ශතකය ලබාගැනීම සඳහා පැතුම්ට පන්දු 46 ක් වැය වූ නමුත් ඉන් අනතරුව මුහුණදුන් පන්දු 12 දී ඔහු හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක් රැස්කළේය.

ඩ්වේන් ප්‍රිටෝරියස් යැවූ 19 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ඇන්රික් නොකියා අතට උඩ පන්දුවක් දෙමින් 8 වැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 58 කට මුහුණදී සිටි පැතුම්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් වී තිබිණ. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන්ට පන්දු 8 කදී ලබාගත හැකි වූයේ ලකුණු 11 ක් පමණි.‍‍

ශ්‍රී‍ ලංකා කණ්ඩායම ලකුණු 150 කට අඩුවෙන් රඳවාගැනීම සඳහා දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩ්වේන් ප්‍රිටෝරියස්, පැතුම්ගේ කඩුල්ලද සමග ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගත්තේය. කගිසෝ රබාඩා අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 11 කට දැවී ගිය නායක දසුන් ශනක, ප්‍රිටෝරියස්ගේ පන්දු හමුවේ කෙතරම් අසරණ වූවාද කිවහොත් ඔහුට පන්දුව පිත්තේ වද්දාගැනීම සඳහා ප්‍රිටෝරියස් යැවූ 5 වැනි පන්දුව තෙක් බලා සිටීමට සිදුවිය.

ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි ඕවරය යැවීම සඳහා පැමිණි ඇන්රි නොයේ තමා යැවූ 5 වැනි පන්දුවේදී ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ කඩුල්ල බිඳ දැමුවේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල බවට පත්වෙමින් පිටියෙන් ඉවත්ව යන විට පන්දු 10 කට මුහුණදී සිටි කුසල් එහිදී ලබා සිටියේ ලකුණු 7 ක් පමණි. කුසල්ගේ දැවී යෑමෙන් පසු චරිත් අසලංක (20) සමග එක්වූ පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 40 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

අටවැනි ඕවරයේ 5 වැනි පන්දුවේදී දෙවැනි ලකුණු කරා දිවයමින් සිටියදී අසලංක දැවීයෑමත් සමග දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත්විය. මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි කගිසෝ රබාඩා යොමුකළ පන්දුව රැගෙන කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක් කඩුල්ල බිඳ දමන විට අසලංක පිතිකරු සීමාවට අඟල් දෙක තුනක් පසුපසින් සිටියේය. අසලංකගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන් තිදෙනාටම වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොදුන් තබ්‍රේස් ශම්ෂි, ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළ බිඳ දැමුවේය.

වමතින් දඟ පන්දු යවන ක්‍රීඩ‍ක කේෂව් මහරාජ්ගේ ඕවර 4 දී ලකුණු 34 ක් උදුරාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ, චයිනමන් පන්දු යවන ක්‍රීඩ‍ක ශම්ෂිගේ පන්දු යැවීම හමුවේ අසරණ වූහ. සිය පළමු ඕවරය එක් ලකුණකට සීමා කළ ශම්සි, දෙවැනි ඕවරයේදී භානුක රාජපක්ෂද (0), තෙවැනි ඕවරයේදී අවිෂ්ක ප්‍රනාන්දුද (3) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවුයේ තමා අතටම පැමිණි උඩ පන්දු රැකගනිමිනි. ඉන් නොනැවතුණ ඔහු සිය අවසන් ඕවරයේදී වනිඳු හසරංගටද (4) පිටියෙන් ඉවත්ව යෑමට ඉඩ සැලසුවේ ඒඩ්න් මාක්‍රම්ගේ සහායද ඇතිවය.

මෙම තරගාවලියේ මූලික වටයේදී නැමීබියාවට එරෙහිව නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමෙන් අනතුරුව යළිත් ලකුණු අතරට පැමිණීමට අවිෂ්ක ප්‍රනාන්දු අපොහොසත් විය. අයර්ලන්තයට, නෙදර්ලන්තයට, බංග්ලාදේශයට, ඕස්ට්‍රේලියාවට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගවලදී ඔහු‍ගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ පිළිවෙලින් 0, නොදැවී 2, 0, 4 සහ 3 ක් ලෙසිනි. ඕස්‍ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී මෙන්ම මෙම තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ කඩාවැටීමට අවිෂ්කගේ අසාර්ථකත්වය බෙහෙවින්ම බලපෑවේය.

 

 


අදහස් (0)

ඩේවිඩ් මිලර් ශ්‍රී ලංකාවේ ජය උදුරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.