Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝ රූට් එංගලන්තය ඉදිරියට තල්ලු කරයි
ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ටෙස්ට් තරගය

ජෝ රූට් එංගලන්තය ඉදිරියට තල්ලු කරයි

editorial - 2025 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය හිමිකරගනිමින්, ජෝ රූට් ලබාගත් 38 වැනි ටෙස්ට් ශතකය නිසා මැන්චෙස්ටර් නුවරදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේදී මුල් ඉනිමේ වාසිය එංගලන්තයට හිමිවිය. තරගයේ තුන්වැනි දිනය වන අද (25 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්තය ඉන්දියානුවන්ට වඩා ලකුණු 186 ක් ඉදිරියෙන් සිටියේය. 

ඉන්දියානුවන් සිය පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 358 ට පිළිතුරු ලෙසින් අද සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 544 ක් ලබා සිටියේය. නායක බෙන් ස්ටෝක්ස් (නොදැවී 77) සහ ලයාම් ඩෝසන් (නොදැවී 21) ඒ වන විට කඩුල්ලේ රැඳී සිටියහ. 

අද තරගයේදී ලබාගත් ලකුණු 150 ත් සමගින් ටෙස්ට් තරග 157 කදී ජෝ රූට් ලබා ඇති සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව 13,409 කි. ඊට ශතක 38 ක් ඇතුළත්වන අතර ඒවායින් 6 ක් ද්විත්ව ශතක ලෙසින් වාර්තා වේ. ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතුරින් ජෝ රූට්ට වඩා ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් (15,921) පමණි. 

ලෝකයෙ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් තිදෙනකු, අද දිනය තුළ පසුකර ගිය ජෝ රූට්ගේ පිතිහරඹය නිසා මෙම තරගය ජයගැනීමට ඉන්දියානුවන්ට තිබූ අවස්ථාව එන්න එන්නම දුරස් වෙමින් තිබේ. තරගයේ මුල් දින දෙකම සම්පූර්ණයෙන්ම වාගේ වැසිබර -  අඳුරු කාලගුණික තත්ත්වයක් පැවැති නමුත් අද පෙරවරුවේ සිටම ඕල්ඩ්ට්‍රැෆර්ඩ් පිටියට හොඳින් හිරු පායා තිබිණ. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් එංගලන්තයේ හිටපු නායකයා, අද දිනය තුළදී ඉන්දියාවේ රාහුල් ද්‍රවිඩ් (13,288), දකුණු අප්‍රිකාවේ ජැක් කලිස් (13,289) සහ ඕස්ටේ්‍රලියාවේ රිකී පොන්ටිං (13,378) ලබාගත් ටෙස්ට් ලකුණු සංඛ්‍යාවන් පසුකර ගියේය. 

ඉන්දියාව - පළමු ඉනිම 358 යි

එංගලන්තය - පළමු ඉනිම කඩුලු 7 ට 544 යි
(සැක් ක්‍රෝලි 84, බෙන් ඩකට් 94, ඔලී පෝප් 71, ජෝ රූට් 150, බෙන් ස්ටෝක්ස් නොදැවී 77, ලයාම් ඩෝසන් නොදැවී  21, වොෂිංටන් සුන්දර් 57/2, රවීන්ද්‍ර ජදේජා 117/2)

- 213


අදහස් (0)

ජෝ රූට් එංගලන්තය ඉදිරියට තල්ලු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.