Last Update  :  2025-05-10 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජදේජා - අශ්වින් හිසරදය වැඩිකරති
මොහාලි ටෙස්ට් තරගය

ජදේජා - අශ්වින් හිසරදය වැඩිකරති

editorial - 2022 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දඟ පන්දු යවන්නකු ලෙසින් ඉන්දීය කණ්ඩායමට එක්ව සිටින නමුත්, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවාගත නොහැකි වූ රවීන්ද්‍ර ජදේජා, ටෙස්ට් තරගාවලියේදීත් හිසරදයක් වෙමින් සිටී. ඉන්දීයව වෙනුවෙන් නොදැවී ලකුණු 175 ක් ලබාගත් ජදේජා ශ්‍රී ලංකා මුල් ඉනිමේදී ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින්සිටි නායක දිමුත් කරුණාරත්නගේ ඉනිම ලකුණු 28 කට සීමාකරමින්, මොහාලි තණතීරුවේදී තමන්ට ලකුණු රැස්කිරීමට පමණක් නොව කඩුලු දවාගැනීමටත් පුළුවන්කම තිබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමට දන්වා සිටියේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, මොහාලි නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (5 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 108 ක් ලබා සිටියේය. සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 574 ක් ලබාගත් ඉන්දියානුවෝ දෙවැනි දිනය නිමාවේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 466 ක් ඉදිරියෙන් සිටියහ.  

මොහාලි තණතීරුවේ ඇතැම් ස්ථාන ඉතාමත් තියුණු දඟ කැවීමක් පෙන්නුම් කරන අතර දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න දෙදෙනාම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීගියේ එවන් පන්දු දෙකකිනි. ජදේජා මෙන්ම රවිචන්ද්‍රන් අශ්වින් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ හිසරදය වැඩිකරමින් සිටිති.

පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් සූදානම් කළ නමුත් දඟ පන්දු යවන්නන් තිදෙනකු සමගින් තරගයට පැමිණ සිටින ඉන්දීය කණ්ඩායම හමුවේ පැතුම් නිස්සංක (නොදැවී 26) සටන්කාමී පිතිහරඹයක නිරතව සිටී. මුලු ලකුණු සංඛ්‍යාව 80 ක් ව තිබියදී ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් නිස්සංකගේ කඩුල්ලට කඩා වැදුණු නමුත් එය නිපන්දුවක් වීමෙන් නිස්සංකට තවදුරටත් පිටියේ සිටිය හැකිවිය. එහෙත් එයින් මඳ වේලාවකට පසුව ජස්ප්‍රීට් බුම්රා, කඩුල්ල ආවරණය කිරීමට හසුකරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත්ම පළපුරුදු පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත්කර ගත්තේය.

මුල් ඉනිමේ දැවැන්ත ලකුණු සංඛ්‍යාවත්, දඟ පන්දු යවන්නන් තිදෙනකු කණ්ඩායමේ සිටින නිසාත් පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට යැවීමේ අදහසක් ඉන්දීය නායකයාට තිබෙන්නට පිළිවන. එම අනතුරට මුහුණ නොදීමට නම් ශ්‍රී ලංකා පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් තවත් ලකුණු 266 ක් ලබාගත යුතුව තිබේ.

විස්සයි-20 තරගාවලියේ තරග 3 කදී ලකුණු 70 ක් ලබාගත් ජදේජා එකම වතාවකදී හෝ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අසමත් වූහ. එම පිතිහරඹය තවදුරටත් ඉදිරියට ගෙනගිය ජදේජා, ටෙස්ට් තරගයේදී පස්වැනි කඩුල්ල ලකුණු 228 දී බිඳ වැටීමෙන් පසුව පිටියට පැමිණ, ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගෙන බිම හෙළමින්, ඉනිම අත්හිටුවන විට නොදැවී ලකුණු 175 ක් ලබා සිටියේය.
 
ජදේජාගේ පන්දු 228 ක ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 17 කින් අලංකෘත වී තිබිණ. වේග පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට එක්වී සිටින නමුත් විශ්වාසය තැබිය හැකි පසුපෙළ පිතිකරුවකු ද වන මොහොමඩ් සාමි නොදැවී ලකුණු 20 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් වඩාත්ම අසරණ කරන ලද්දේ රිෂාබ් පන්ට් (96), රවිචන්ද්‍රන් අශ්වින් (61) සහ ජදේජා යන තුන්කට්ටුව විසිනි. පාන්ට් සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක් එක්කළ ජදේජා, පිට දඟ පන්දු යවන්නා වන රවචන්ද්‍රන් අශ්වින් සමගින් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 130 ක් එකතු කළේය.

නායක දිමුත් කරුණාරත්න පන්දු යවන්නන් 6 දෙනකු යොදාගත් නමුත්, විරාට් කෝලිගේ 100 වැනි ටෙස්ට් තරගය වෙනුවෙන්ම, පිතිකරුවන්ගේ පරාදීසයක් ලෙසින් පිළියෙළ කරන ලද මොහාලි තණතීරුවේදී ශ්‍රී ලංකා පන්දු යවන්නකුට දවාගත හැකි වැඩිම කඩුලු සංඛ්‍යාව වූයේ 2 ක් පමණි. එහෙත් කඩුලු 2 ක් බැගින් දවාගත් සුරංග ලක්මාල් (90/2), විශ්ව ප්‍රනාන්දු (135/2) සහ ලසිත් ඇඹුල්දෙණිය (188/2) තිදෙනාගෙන් පමණක් ඉන්දීය පිතිකරුවෝ ලකුණු 413 ක් උදුරා ගත්හ.

නියමිත වේලාවට වඩා විනාඩි 10 ක් කලින් තේ පානය කළ කණ්ඩායම් දෙකම නැවත තරගයට සූදානම් වන විට ඉන්දීය පිල ඉනිම දෙකක් අතර ඇඳුම් මාරුකිරීමේ කාලයට හිමි විනාඩි 10 ත් තමන්ගේ පන්දු යවන්නන් වෙත ඉතිරිකර ගත්තේය.

පළමු දිනයේදී තරගය නතර කරන විට කඩුලු 6 කට ලකුණු 357 ක් ලබාසිටි ඉන්දීය කණ්ඩායම ඊයේ ඉනිම ආරම්භයේදීම අනුගමනය කළ උපාය, එනම් ඕවරයකදී ලකුණු 4.00 කට වැඩි වේගයක් රඳවාගැනීම, දිගින් දිගටම අනුගමනය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලයිස්තුව සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් කර ඇති ඉන්දීය පුහුණු කාර්ය මණ්ඩලයේ අරමුණ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව නොදීමයි.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිටියේ පමණක් නොව, ලෝක ටෙස්ට් පිටියේ සදාතනික වීරයන් දෙදෙනකු වන ෂේන් වෝන් සහ රොඩ්නි මාෂ් දෙදෙනාගේ අභාවයන් වෙනුවෙන් දෙපිලේම ක්‍රීඩකයෝ දෙවැනි දිනයේ කළු අත් පටි බැඳ ක්‍රීඩා කළහ. 


අදහස් (0)

ජදේජා - අශ්වින් හිසරදය වැඩිකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.