Last Update  :  2025-08-03 21:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චන්දිමාල් ජාතික කණ්ඩායමට ආපසු එයි

චන්දිමාල් ජාතික කණ්ඩායමට ආපසු එයි

editorial - 2021 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

පිතිකරුවකු වශයෙන් අසාර්ථක යයි පසුගිය බංග්ලාදේශ සංචාරයේ සිටම ජාතික කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබ සිටි දිනේෂ් චන්දිමාල් නැවතත් ජාතික කණ්ඩායමට කැඳවා තිබේ. දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත තරගාවලිය සඳහා නම්කරන ලද ක්‍රීඩකයන් 22 කින් යුත් සංචිතයට දිනේෂ් චන්දිමාල් ඇතුළත් කර ඇත.

පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලියේදී දක්වන ලද කැපීපෙනන දස්කම් හේතුවෙන් චන්දිමාල්ට නැවතත් ජාතික කණ්ඩායමේ දොරගුළු විවර වී තිබේ. චන්දිමාල් මෙන්ම කමිඳු මෙන්ඩිස්, පුලින තරංග සහ පැතුම් නිස්සංකද විස්සයි-20 ආරාධිත තරගාවලියේදී සාර්ථක දස්කම් දැක්වූවෝ වෙති.

චන්දිමාල් විස්සයි-20 ආරාධිත තරගාවලියේදී පන්දු 152 කදී ලකුණු 183 ක් ලබාගත්තේය. රෙඞ්ස් කණ්ඩායමට නායකත්වය දුන් චන්දිමාල් එහි ආරම්භක පිතිකරුවා වෙමින් අර්ධ ශතක දෙකකින් සිය කණ්ඩායමට දායකත්වය දැක්වූ අතර අවසන් මහ තරගය සඳහා කණ්ඩායම කැඳවාගෙන යාමටද සමත් වූයේය.

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 ආකාර තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා සිටි ක්‍රීඩකයකු වන චන්දිමාල්ගේ නැවත කැඳවීම, පිටිය මැදදී උපාය මාර්ග තෝරාගැනීම සම්බන්ධයෙන් නායක දසුන් ශානකට විශාල ශක්තියක් වනු ඇත.

 බංග්ලාදේශ සංචාරයේ සිටම, හිටපු නායක කුසල් ජනිත් පෙරේරාටත්, වත්මන් නායක දසුන් ශානකටත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අහිමි වීම මහත් අවාසියක් වී තිබිණ. කණ්ඩායමේ මැද පෙළ පිතිහරඹය සවිමත් කිරීමටත්, අවශ්‍ය අවස්ථාවකදී ඉනිම පුරාම කඩුල්ල රැකගනිමින්, සෙසු පිතිකරුවන් සමග ලකුණු සොයා යාමටත් සමත් පළපුරුදු පිතිකරුවකුගේ අඩුව පසුගිය තරග වලදී ශ්‍රී ලංකා පිලට තදින් දැනෙමින් තිබිණ. එවන් වාතාවරණයකදී චන්දිමාල්ගේ නැවත කැඳවීම මැද පෙළ පිතිකරු ධනංජය සිල්වාට මෙන්ම අත දිගහැර පහරදෙන දසුන් ශානකටත් අතිරේක ශක්තියක් ගෙන එන්නකි.

විස්සයි-20 ආරාධිත තරගාවලියේදී තවත් සාර්ථක පිතිකරුවකු වූ කමිඳු මෙන්ඩිස් ග්‍රීන්ස් පිල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 193 ක් ලබාගත්තේ හයේ පහර 8 ක්ද එකතු කරමිනි. අවශ්‍ය අවස්ථාවක දඟ පන්දු යවන්නකු ලෙසින්ද කටයුතු කළ හැකි කමිඳු මෙන්ඩිස්ට දෑතින්ම පන්දු යැවීමේ හැකියාව තිබේ. ඒ පිට දඟ පන්දු යවන්නකු ලෙසින් මෙන්ම වමතින් පා දඟ පන්දු යවන්නකු ලෙසිනි. කමිඳු පිතිකරුවකු ලෙසින් කණ්ඩායමට එකතුවන්නේ නම් එවන් අවස්ථාවකදී පන්දු යවන්නන්ගෙන් කණ්ඩායම සමබර කරගැනීම ඉතා පහසු වනු ඇත.

විස්සයි-20 ආරාධිත තරගාවලියේදී පැතුම් නිස්සංක පන්දු 121 කින් ලකුණු 167 ක් ලබාත් අතර දකුණතින් පා දඟ පන්දු යවන්නකු වන පුලින තරංග කඩුල 7 ක් දවාගත්තේ එකකට 19.14 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
තෝරගන්නා ලද සංචිතයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රජපක්‍ෂ මහතාගේ අනුමැතියද මේ වන විටත් ලැබී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් දසුන් ශානක කටයුතු කරන අතර උපනායකත්වය ධනංජය ද සිල්වාට පැවරී තිබේ.


ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්‍ෂ, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු කුමාර, ළහිරු මධුශංක, පුලින තරංග සහ මහේෂ් තීක්‍ෂණ

 


අදහස් (0)

චන්දිමාල් ජාතික කණ්ඩායමට ආපසු එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.