Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චන්දිමාල් කෙරේ විශ්වාසය ර‍ඳවයි

චන්දිමාල් කෙරේ විශ්වාසය ර‍ඳවයි

editorial - 2021 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

(ශානුක අරවින්ද අබුඩාබි සිට..)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය ලෙස අයර්ලන්තයට එරෙහිව අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී හෙට (20 වැනිදා) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන දිනේෂ් චන්දිමාල් සුපුරුදු දස්කම් අතරට පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි.

දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදී කුසල් පෙරේරා ආබාධයකට ලක්වීම නිසා චන්දිමාල්ට ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීමට සිදුවූ නමුත් ඔහුට ගැලපෙනම ස්ථානය අංක 3 බවද තරගයට පෙර දින‍යේදී පැවැති මාධ්‍ය හමුවෙට සහභාගි වෙමින් ආතර් මහතා කියා සිටි‍යේය. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද සඳහන් කළේය.

“ලෝක කුසලාන තරගාවලියට පෙර අපේ ක්‍රීඩකයන් කණ්ඩායම් දෙකකට බෙදිලා පුහුණු තරග 3 ක් ක්‍රීඩා කළා. ඉන් එක් තරගයකදී චන්දි අංක 3 ස්ථානයේ පන්දුවට පහරදීලා පන්දු 48 කින් වේගවත් ලකුණු 84 ක් රැස්කළා. දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අකිල ධනංජය සහ මහේෂ් තීක්ෂණ වගේ අපි සතුව ඉන්න ප්‍රබල පන්දු යවන්නන් එම තරගයේදී චන්දිට පන්දු යැවුවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හෙට තරගයේදී අපිට නැවතත් ඔහුගෙන් එවැනි ඉනිමක් දකින්නට ලැබේවි කියලා.” යැයි ආතර් මහතා පැවසීය.

ආතර් මහතා එසේ පැවසුවද දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තෙවැනි විස්සයි20 තරග‍යේදී පන්දු 54 කින් ලකුණු ලකුණු 66 ක් ලබාගැනිමෙන් පසුව ඔමානයට එරෙහිව පැවැති තරග දෙකේදී සහ බංග්ලාදේශයට එරෙහිව පැවැති පෙරහුරු තරගයේදී චන්දිමාල්ගේ ලකුණු ලබාගැනීම සටහන් වනනේ 0 ක්, 18 ක් සහ 13 ක් ලෙසිනි. ලෝක කුසලාන තරගාවලිය යටතේ නැමීබියාවට එරෙහිව පැවැති ‍තරගයේදී පන්දු 12 කට මුහුණදුන් චන්දිමාල්ට එහිදී ලබාගත හැකිවූයේද ලකුණු 5 ක් පමණි.

එසේ වුවත් තවදුරටත් චන්දිමාල් කෙරෙහි විශ්වාසය තැබීමට පුහුණුකරුට සහ තේරීම් කමිටුවට සාධාරණ හේතුවක් තිබේ. ඒ චන්දිමාල් සතු අත්දැකීම් සම්භාරයයි. චන්දිමාල් වෙනුවට අංක 3 ස්ථානයේ වෙනත් නවක ක්‍රීඩකයකු ක්‍රීඩා කරන විට ආරම්භක පිතිකරු කුසල් පෙරේරා වේලාසනින් දැවිගියහොත් පිටියේ ඉතිරි වන්නේ නවක පිතිකරුවන් දෙදෙනෙකි. එවැනි අවස්ථාවක තරගය හසුරුවාගැනීම සඳහා චන්දිමාල්ගේ අත්දැකීම් මනා පිටුවහලක් වනු ඇත.

එම නිසා නවක ක්‍රීඩකයකු ක්‍රීඩා කරවීමට වඩා අංක 3 ස්ථානය චන්දිමාල්ට ලබාදීමෙන් කණ්ඩායමට වැඩි යමක් ලැබෙනු ඇතැයි පුහුණුකරුවා බලාපොරොත්තු වෙයි. කෙසේ වුවත් අද තරගයේදීද චන්දිමාල් අසාර්ථක වුවහොත් ඉදිරි තරගවලදී නවක ක්‍රීඩක චරිත් අසලංකට හෝ තවමත් බංකුවේ සිටින උපනායක ධනංජය ද සිල්වාට අවස්ථාවක් හිමිවනු ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් මේ වන විට පුහුණුකරුගේ වැඩි අවධානය යොමුව ඇත්තේ චන්දිමාල් නැවතත් ලකුණු අතරට පැමිණෙනු දැකීම ‍කෙරහිය.

කුසල් පෙරේරාගේ ආබාධ තත්වය බොහෝ සෙයින් සුව අතට හැරීමත්, පැතුම් නිස්සංක ආරම්භක පිතිකරුව‍කු ලෙසින් ක්‍රීඩා කිරීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි දායක වනු ඇතැයි අතර් මහතා පවසයි. කුසල්ට වේගයෙන් ලකුණු රැස්කිරීමට ඇති හැකියාවත්, පැතුම්ට කෙළින් පන්දුවට පහරදීමට ඇති හැකියාවත් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේදී සාර්ථක ආරම්භයක් ලබාගැනීමට මහත් රැකුළක් වනු ඇතැයිද ඔහු විශ්වාස කරයි.

“කුසල් කියන්නේ ආක්‍රමණශීලී පිතිකරුවෙක්. ඔහු‍ගේ පිතිහරඹ රටාව ප්‍රතිවාදී පන්දු යවන්නන්ට පන්දු යැවීමේදීත්, නායකයන්ට ක්‍රීඩාංගණයේ පන්දු රකින්නන් යෙදවීමේදීත් හිසරදයක් බවට පත්වේවී. ඒ වගේම තමා පැතුම් කියන්නෙත් නැඟී එන දක්ෂ පිතිකරුවෙක්. මම පුහුණුකරු විධියට කටයුතු කරපු කාලයේදී මට හමුවුණ දක්ෂතම තරුණ ක්‍රීඩකයෙක් ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්. වැඩි කාලයක් ගතවීමට පෙර ඔහු ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් බවට පත්වේවි. ඒ නිසා අපි ඔහුව ආරක්ෂා කරගත යුතුයි.” යැයි ආතර් මහතා කියා සිටියේය.

නැමීබියාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම කිසිදු වෙනස්කමකින් තොරව ‍අද තරගයටත් ක්‍රිඩා කිරීමට නියමිත බවද පුහුණුකරු මධ්‍ය හමුවේදී සනාථ කළේය. දසුන් ශානක සහ චාමික කරුණාරත්න හැරුණු කොට තවත් වේග පන්දු යවන්නන් දෙනෙකු (දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර) ක්‍රීඩා කරවීම කණ්ඩායමේ නව සැලසුම්වල කොටසක් බවද, පළමු තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායම ඉන් නිසි ඵළ නෙළාගත් බවද එහිදී ආතර් මහතා වැඩි දුරටත් කියා සිටියේය. 

පෙරහුරු තරගවලදී පැපුවා නිව්ගිණියාවට එරෙහිව කඩුලු 8 ක ජයක්ද, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 33 ක ජයක්ද ලැබූ අයර්ලන්තය, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සහභාගි වූ පළමු තරගයේදීම සිය ප්‍රබලම ප්‍රතිවාදන් වන නෙදර්ලන්තයට එරෙහිවද කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළේය. එ‍බැවින් ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර අද පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගයක් වනු ඇත. මූලික වටයේ තරග අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වන කණ්ඩායම තීරණය කෙරෙන තරගය මෙය වීම ඊට හේතුව ලෙස සඳහන් කළ හැකිය.

 ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර, ‍මහේෂ් තීක්ෂණ, පැතුම් නිස්සංක සහ භානුක රාජපක්ෂ

අයර්ලන්ත සංචිතය

ඇන්ඩෘ බැල්බර්නි (නායක), පෝල් ස්ටර්ලින්, කෙවින් ඕ’බ්‍රයන්, ගැරත් ඩෙලනි, හැරී ටෙක්ටර්, කර්ටිස් කැම්පර්, නීල් රොක්, සිමි සිං, මාක් අඩෙයර්, බෙන්ජමින් වයිට්, ජොෂුවා ලිට්ල්, ජෝජ් ඩොක්‍රෙල්, ක්‍රෙග් යන්ග්, ඇන්ඩි මැක්බ්‍රයන් සහ ලොර්කන් ටකර්,

 


අදහස් (1)

චන්දිමාල් කෙරේ විශ්වාසය ර‍ඳවයි
  • kim Tuesday, 19 October 2021 11:46 PM

    චන්දිමාල් සහ පැතුම් නිශ්ශංක දෙදෙනාම T20 ක්‍රිඩකයින් නොවෙති. ඔවුන් නිකරුනේ පන්දු කාදමන නිසා අනෙකුත් පිතිකරුවන්ට පීඩනය වැඩිවේ. ඔවුන් වේගයෙන් ලකුණු රැස් කිරීමට යාමේදී ඉක්මණින් දැවී යයි. නරඹන අපට තේරෙන මේ තේරිම් කමිටුවලට නොතේරීම අභාග්‍යයකි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.