Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ගොඩගන්න ඇමතිගෙන් කමිටුවක්

ක්‍රිකට් ගොඩගන්න ඇමතිගෙන් කමිටුවක්

Nisanka Sandeepani - 2017 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය ගැන සාකච්ඡා කර ක්‍රිකට් ක්‍රීඩාව නව මගකට යොමු කිරීම සඳහා වන වැඩමුළුවක් පවත්වන්න තීරණය කර ඇතැයි ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා කියයි. ඒ සඳහා ක්‍රීඩා සභාවේ සභාපති මිල්ටන් අමරසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇති බවත්  කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුනුත් එහි  සාමාජිකත්වය දරණ බවත් ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.
 
“ක්‍රිකට් නව මගකට යොමුකිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කරන්න අපි විද්වතුන්, ප්‍රවීණයන්, මාධ්‍යවේදීන් ආදී සියලු අංශ නියෝජනය කරමින් හිටපු සියලුම ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරුන්, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරුන්, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින්, සියලු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් මාධ්‍යවේදීන්ට, ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරුන්ට, ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්, ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප්‍රවීණයන් මෙන්ම දිස්ත්‍රික් හා පළාත් ක්‍රිකට් සංගම් සභාපතිවරුන්ටත් අපි මෙයට ආරාධනා කරනවා” 
 
“එහි දී අපි ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතු වූ කරුණු ගැන සාකච්ඡා කර ප්‍රධාන මාතෘකා 10 ක් යටතේ සකස් කර විසඳුම් ක්‍රියාමාර්ග ආදිය පිළිබඳ අදහස් ලබාගන්නවා. මේ සම්බන්ධව සති දෙකක් පමණ ඇතුළත වාර්තාවක් සකස් කර ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා තැන් තැන්වල කතා කර පුද්ගලික අමනාපකම් මත හැම තැනම කතා කරන බව පේනවා. සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාර ගැන ක්‍රීඩකයින් පවා කණගාටුවෙන් ඉන්නවා. ඔවුන්ට නිදහසේ මේ තත්ත්වය සමනය කරගැනීමට අවස්ථාව දිය යුතුයි. මේ අය ජයග්‍රහණය කළ කණ්ඩායමක්. නැවත ජයග්‍රාහී මාවතට හරවන්න අපි කවුරුත් සහය දිය යුතුයි.”
 
“මම කියන්නේ අවසාන වගකීම එන්නේ ඇමතිවරයාට නිසා අපටත් තීන්දු තීරණ ගැනීමට අදහස් මාලාවක් ඉදිරිපත් කරන්න වෙනවා. සිදත් වෙත්තමුණි මහතා මේ ගැන කතා කර තිබුණා. අර්ජුන රණතුංග මහතා දිනුවත් පැරදුණත් කතා කරනවා. මේ ආරාධනා කරන්නේ අමාත්‍යාංශය නිසා අපි පවත්වන වැඩමුළුවට එන ලෙස සියලු දෙනාට ආරාධනා කරනවා” යයි කැබිනට් රැස්වීමේදී ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය. 
 
කැබිනට් රැස්වීමේදී ඇමතිවරයාගෙන් අසන ලද ප්‍රශ්න සහ පිලිතුරු
 
ප්‍රශ්නය
තරග පවාදීම් ගැනත් මෙහිදී සාකච්ඡා කරනවාද?
 
පිළිතුර
ඒ ගැන වෙනම සාකච්ඡා කළ යුතු දෙයක්.
 
ප්‍රශ්නය
ක්‍රිකට් ආයතනය සමඟ වැඩ කිරීමට බොහෝ දෙනෙක් කැමති නැහැ නේද? පරණ අය මොවුන් සමඟ වැඩ කරන්න කැමති නැති බව කියනවා.
 
පිළිතුර
එහෙම කියා මොකද කරන්නේ. බොහෝ දෙනා කියන්නේ කී දෙනෙක්ද? එතන තියෙන්නේ අභ්‍යන්තර අර්බුද. කණ්ඩායම දිනවන්න නම් පුද්ගලවාදී වී බැහැ. මට කා සමඟවත් පුද්ගලික අමනාපකම් නැහැ. 
 
ප්‍රශ්නය
වැඩමුළුවේදී ඡන්ද සංඛ්‍යාව අඩුකරන යෝජනාවක් ආවොත් කැමතිද?
 
පිළිතුර
බහුතර යෝජනාවක් ලෙස ආවොත් අපි එයට සහය දෙන්න වෙනවා. ඒත් 1996 ලෝක කුසලානය දිනුවේත් මේ ඡන්ද පදනම තිබියදීයි. දැන් එය වෙනස් කළ යුත්තේ ඇයි? වෙනස් කළ යුත්තේ කොහොමද යන්නත් ඒ අය කිව යුතුයි. තමාගේ ක්‍රීඩා සමාජය තුළ ඡන්දයක් දිනන්න බැරි අයත් මෙතනට එන්න හදනවා. 
 
ප්‍රශ්නය
මහේල ජයවර්ධන මහතා මීට පෙර ක්‍රිකට් සැලැස්මක් හැදුවා. වර්තමාන ක්‍රිකට් ආයතනය එය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා නේද?
 
පිළිතුර
ප්‍රතික්‍ෂේප කර නැහැ. මමත් එය ඉල්ලුවා. පළාත් ක්‍රිකට් තරඟාවලි ගැන එහි යෝජනා තිබෙනවා. අපිට 2003 වසරේ සිට මේ දක්වා පළාත් මට්ටමින් සිව් දින ක්‍රිකට් තරඟාවලියක්වත් පවත්වන්න බැරි වී තිබෙනවා. දැන් කවුරුත් කතා කරනවා. 
 
ප්‍රශ්නය
එය සෙල්ලම් කර නැවැත්තුවේ.
 
පිළිතුර
එක තරඟාවලියක් තිබුණා. ඉන්පසු නතර කළා. පොඩි කණ්ඩායමක් පුහුණු කරන්න දීමේදී පළාත් තරඟාවලියක් පැවැත්වීම වැදගත්. මෙය රට වෙනුවෙන් කරන දෙයක් මිස කා වෙනුවෙන්වත් පුද්ගලිකව කරන දෙයක් නෙවෙයි. මෙතනට ක්‍රිකට් පාලක මණ්ඩලය ගාවා ගත යුතු නැහැ. 
 
ප්‍රශ්නය
ක්‍රිකට් සභාපතිවරයා ලොකුම ප්‍රශ්නය බව කියනවා නේද?
 
පිළිතුර
එක්කෙනෙක් දෙන්නෙක් එහෙම කියනවා. එක්කෙනෙක් ඡන්දය පැරදුණු කෙනෙක්. එයා තමයි උදේ සිට රෑ වෙනකම් කියවන්නේ. එයා සභාපති කරන්න උස්සගෙන ආ කෙනා දූෂිතයි කියන කෙනෙක්. එහෙම කරලා කතා කරන යහපාලනය කුමක්ද? ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පත්වුණේ ඡන්දයෙන්. මීට කලින් අවුරුදු 8ක් තිබුණේ අතුරු කමිටු. ඒ කාලේ ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජිතයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකයෙක් වෙලා හිටියේ නැහැ. ඔහු ඡන්ද අයිතිය නැති නිරීක්‍ෂකයෙක්. පළමු වරට මේ ඡන්දයෙන් පසු දැන් ඇතුළට අරන් තිබෙනවා. දැන් මම අතුරරු පාලක මණ්ඩලයක් දැම්මොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව අපට අතුරු පාලක මණ්ඩල දාන්න නොදෙන බව කියයි. මගේ යටතේ මම කිසිම ක්‍රීඩා සංගමයකට අන්තර් කමිටු හදන්න ලෑස්ති නැහැ. එය ලෝකය පිළිගත් ක්‍රමවේදයක් නෙවෙයි.
 
සභාපති අයින් කරන්න ඕනෙ නම් ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕන කියන නිසා එයත් වෙනස් කර ඡන්දයකින් ඉවත් කරන්න. එතුමා ඉවත් කර අතුරු කමිටු දාන්න මම සූදානම් නැහැ. එයට දේශපාලන බලපෑමක් කියයි. 
 
 
 

අදහස් (0)

ක්‍රිකට් ගොඩගන්න ඇමතිගෙන් කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.