Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ටේ‍්‍රලියානුවෝ බංග්ලාදේශයට රිදෙන්නම තලති

ඕස්ටේ‍්‍රලියානුවෝ බංග්ලාදේශයට රිදෙන්නම තලති

editorial - 2021 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇඩම් සම්පාගේ විශිෂ්ට පන්දු යැවීමෙන් පසුව බංග්ලාදේශය උස්සා පොළොවේ ගැසූ  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 74  ඕවර 6.2 ක දී ලබාගනිමින්, ඩුබායිහිදී අද (4 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කඩුලූ 8 ක දැවැන්ත ජයක් ලබාගත්හ. ඒරන් ෆින්ච් (40) සහ ඩේවිඩ් වෝනර් (18) දෙදෙනාම ශුද්ධ ලකුණු වේගය හඹා ගිය කණ්ඩායම වෙනුවෙන් සිය කඩුලු පූජා කළද  ඕස්ටේ‍්‍රලියානුවන්ට අවශ්‍ය වූයේ සිය ශුද්ධ ලකුණු වේගයට ධන ලකුණක් එකතු කරගැනීමයි.

තරගයට පෙර ශුද්ධ ලකුණු වේගය -0.627 ක් වූ  ඕස්ටේ‍්‍රලියාව තරගය අවසන් කළේ එය +1.031 කරමිනි. ප‍්‍රහාරාත්මක  ඕවර 6 නිමාවන විටත් ලකුණු 67 ක් පුවරුවට එකතු කරගෙන සිටි  ඕස්ටේ‍්‍රලියානුවන්ට එතැන් සිට අවශ්‍ය වූයේ ලකුණු 7 ක් පමණි. හත්වැනි  ඕවරයේදී ඔව්හු තරගය නිමා කළහ.

ආරම්භයේදීම සිදුවූ ඇද වැටීමෙන් අසරණ වූ බංග්ලාදේශය ගොඩගැනීමට නායක මහමදුල්ලා සහ ශමීම් හොසේන් බලවත් උත්සාහයක් ගත් නමුත්  ඕවර 15 කදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 73 කට දැවී ගියේය. ඇඩම් සම්පා ලකුණු 19 ට කඩුලූ 5 ක් දවාගත්තේ විස්සයි-20 පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 6 වැනි ස්ථානයෙන් ඉහළට යාමේ මාවත පාදා ගනිමිනි. එය සම්පාගේ හොඳම විස්සයි-20 පන්දු යැවීමද විය.

කාසියේ වාසිය දිනාගත්  ඕස්ටේ‍්‍රලියානු නායක ඒරන් ෆින්ච් කිසිම පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. ප‍්‍රහාරාත්මක  ඕවර 6 න්  තුනක් ඉතිරිව තිබියදීම බංග්ලාදේශයේ කඩුලූ 3 ක් බිම දමාගැනීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් සමත් වූ අතර ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකු වූ ලිටන් දාස්, සෞම්‍ය සාර්කර් සහ මුෂ්ෆිකුර් රහීම් තිදෙනාම දැවී යාම බංග්ලාදේශය අපේක්‍ෂා නොකළ මට්ටමේ දැවැන්ත පහරක් විය. එතැන් සිට බංග්ලාදේශයේ හිස් එසවීමක් නොවිණ.
ප‍්‍රහාරාත්මක  ඕවර 6 දී පහළටම වැටී තිබූ ලකුණු වේගය ඉහළට ගැනීමට ගත් උත්සාහයේදී බංග්ලාදේශයේ ආරම්භක පිතිකරුවාත් දැවී ගියේය. එකම සහනය වූයේ නායක මහමදුල්ලා පිටියේ සිටීම පමණි. එහෙත් විස්සයි-20 අන්තර්ජාතික තරග 109 ක අත්දැකීම් ඇති බංග්ලාදේශ නායකයාගේ ඉනිම නිමාවී  ඕවර දෙකක් ඇතුළත බංග්ලාදේශ ඉනිමත් අවසන් විය.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර, අන්තර්ජාතික විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ශී‍්‍ර ලංකාවටත් (10) වඩා ඉහළින් සිටි බංග්ලාදේශය (6) තරගාවලිය අවසන් කළේ ප‍්‍රධාන තරගාවලියේ තරග 5 කින් 5 ම පරාජය වූ කණ්ඩායමක් ලෙසිනි.


බංග්ලාදේශය -  ඕවර 15 කදී සියලූ දෙනා දැවී 73 යි
(මොහොමඞ් නයීම් 17, මහමදුල්ලා 16, ශමීම් හොසේන් 19, මිචෙල් ස්ටාක් 21/2, ජොස් හේසල්වුඞ් 08/2, ඇඩම් සම්පා 19/5)

ඕස්ටේ‍්‍රලියාව -  ඕවර 6.2 කදී කඩුලූ 2 ක් දැවී 78 යි
(ඩේවිඩ් වෝනර් 18, ඒරන් ෆින්ච් 40, මිචෙල් මාෂ් නොදැවී 16, ටස්කින් අහමඩ් 36/1, ෂොරිෆුල් ඉස්ලාම් 09/1)

- 213

 


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානුවෝ බංග්ලාදේශයට රිදෙන්නම තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.