Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

editorial - 2021 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(දමින්ද විජේසූරිය)

තමන්ගේ දඟ පන්දු බලඇණියට තවත් වික්‍රමාන්විත සගයකු එකතු වූ බව ලෝකයාට හඬගා කියූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් ලකුණු 78 ක අති විශිෂ්ට ජයක් ලබාගත්හ. සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ මහේෂ් තීක්‍ෂණ ලකුණු 37 කට කඩුලු 4 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 125 කට සීමාකළේ තරග 2-1 ක් ලෙසින් එක්දින තරගාවලියේ ජයද ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඇදහිය නොහැකි තරම් උසස් මට්ටමක පැවැති අතර ස්ලිප්හි සිටි ධනංජය ද සිල්වා රැකගත් උඩපන්දු තුන පමණක් නොව, ෂෝඞ් මිඞ් විකට්හි සිටි කමිඳු මෙන්ඩිස් රැකගත් රාසි වැන්ඩර් ඩසන්ගේ උඩපන්දුවද රූපවාහිනියෙන් නැවත නැවතත් බැලීමට තරමේ විශිෂ්ට ඒවා විය.

මේවායින් එකක්වත් සියැසින් දැකගැනීමට ක්‍රිකට් ලෝලීන්ට අවසර නොදීම කොවිඞ්-19 වයිරසය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට කළ විශාලතම ද්‍රෝහීකම විය. එහෙත් දකුණු අප්‍රිකානු සම්පූර්ණ ඉනිමම ඕවර 30 කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, තවත් දශක කිහිපයක ඇවෑමෙන් වුවද  එහි සම්පූර්ණ වීඩියෝවක් නැරඹීමට තරම් වටිනාකමක් මෙම තරගයට එක්කළහ.

ලකුණු 204 ක ඉලක්කයක් කරා යාම ඇරඹූ දකුණු අප්‍රිකානු පිලට දුෂ්මන්ත චමීර සහ ප්‍රවීන් ජයවික්‍රම දෙදෙනාගෙන් එල්ල වූයේ නැවත හිස් එසවිය නොහැකි ප්‍රහාරයකි. ඉනිමේ පස්වැනි ඕවරයේදී ලකුණු 19 කට තුන්වැනි කඩුල්ලත් බිඳ වැටුණේ ෂෝට් මිඩ් විකට්හි සිටි කමිඳු මෙන්ඩිස්ගේ අති විශිෂ්ඨ උඩපන්දු රැකීමකිනි.

එතැනින් පහළට වැටුණු දකුණු අප්‍රිකානු පිලේ 6 වැනි කඩුල්ලත් ලකුණු 54 දී ඇද වැටුණු අතර කෝඩුකාරයා වූ මහේෂ් තීක්‍ෂණයේ පන්දු යැවම හමුවේ දකුණු අප්‍රිකානු පිතිකරුවෝ අන්දමන්ද වී සිටියහ.

ඇන්ඩිල් පෙලුක්වායෝ (17) සහ ජෝර්ජ් ලින්ඩි (18) දෙදෙනා අතර හත්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 36 ක සම්බන්ධතාව හුදෙක් සංචාරක කණ්ඩායම ලකුණු 100 න් එතෙර කරවන්නක් පමණක් විය.

යානේමන් මලාන් දවාගනිමින් සිය මංගල එක්දින තරගයේදීම පළමු වැනි පන්දුවෙන් කඩුල්ලක් දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරට මහේෂ් තීක්‍ෂණ එක්වූයේය. චරිත බුද්ධික ප්‍රනාන්දු, කෞෂාල් ලොකුආරච්චි සහ තුෂාර මිරැන්ඩෝ එවන් දස්කමක් කළ සෙසු ශ්‍රී ලාංකිකයෝ වූහ.  

කාසියේ වාසිය අහිමි වූවද නියමිත ඉලක්කයකට කළ පන්දු යැවීමත්, අති විශිෂ්ට පන්දු රැකීමත් නිසා දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 203 කට සීමා කරගත්හ. දැවී ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් 9 දෙනාගෙන් 8 දෙනකුම දඟ පන්දු යවන්නන්ට ගොදුරු වී තිබිණ.

ඉනිමේ නැංගුරම වූ චරිත් අසලංක 42 වැනි ඕවරයේදී දැවී ගියත් පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ කෝඩුකාරයා වන මහේෂ් තීක්‍ෂණ ඕවර සංඛ්‍යාව නිමාවනතුරු පිටියේ රැඳීමේ අභියෝගය බාරගත්හ. මෙම පිතිකරුවන් දෙදෙනා 9 වැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 32 ක සම්බන්ධතාව නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට 200 කඩයිම පැනගත හැකිවූවා පමණක් නොව, දකුණ අප්‍රිකානුවන් පීඩනයට පත්කළ පළමු කාරණාවද එයම විය.

සෙසු පිතිකරුවන් එකා පසුපස එකා දැවී යන සැටි බලා සිටියද කණ්ඩායම වෙනුවෙන් බර කරට ගත් චරිත් අසලංක බුද්ධිමත් ක්‍රීඩාවක නිරතව සිටියේය. පන්දු 53 කින් ලකුණු 37 ක් ලබා සිටි අසලංක යාර 30 වළල්ලෙන් එපිටට පස්වැනි ක්‍රීඩකයා යවන තුරු බලා සිට හයේ පහරකට උත්සාහ කළේය. ඩීප් මිඞ් විකට්හි සිටි ක්‍රීඩකයා උඩපන්දුවක් රැකගත් නමුත් එයින් අසලංක දැවී නොගියේ පන්දුව නිපන්දුවක් වූ බැවිනි. එපමණක් නොව, අසලංක පන්දු යවන්නාගේ අන්තයේ සිටින අවස්ථාවලදී පිතිකරුවා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ නම් එවන් අවස්ථාවලදී විතීවි සහාය ඉල්ලා සිටීමටද පිතිකරුවාට උපකාර කළේය.

ශ්‍රී ලංකා මැදපෙළට අවශ්‍යවන්නේ තමන් ම බව නැවත වරක් සනාථ කළ අසලංකට පිට පිටම ලබාගත හැකිව තිබූ තුන්වැනි අර්ධ ශතකය අහිමිවී ගියේ ලකුණු 3 කිනි. පන්දු 72 කට මුහුණ දුන් චරිත් හතරේ සීමාවට යැවූයේ ඒවායින් 2 ක් පමණක් වූවද, ශ්‍රී ලංකා ඉනිමේ කොඳුනාරටිය වූයේ ඔහුමය. ලකුණු 64 කට කඩුලු 3 ක් බිඳවැටී සිටියදී පිටියට පිවිසි වමත් පිතිකරුවා දැවී යන විට පුවරුවේ ලකුණු 166 ක් සටහන් වී තිබිණ.

තරගයේ දෙවැනි ඕවරයේදීම දඟ පන්දුවෙන් ආක්‍රමණය ඇරඹූ දකුණු අප්‍රිකානු නායක කේෂව් මහාරාජ් තමන්ම පන්දු යැවීමට තීරණට කළේය. එහි ප්‍රතිඵලයක් වූයේ ලකුණු 33 ක් ඇතුළත, වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනකු හමුවේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගළයම දැවී යාමයි. අවිශ්ක ප්‍රනාන්දු දකුණු අප්‍රිකානු නායකයා හමුවේත්, දිනේෂ් චන්දිමාල් තවමත් තවත් නවක දඟ පන්දු යවන්නකු වන ජෝර්ජ් ලින්ඩි හමුවේත් දැවී ගියහ.

මෙම පිතිකරුවන් දෙදෙනාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූයේ යයි පන්දු යවන්නන් කළ ඉල්ලීම විනිසුරුවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලදහ. එහෙත් විතීවි සහාය ඉල්ලා සිටි දකුණු අප්‍රිකානු නායකයා තීරණ දෙකම තමන්ගේ වාසියට හරවා ගත්තේය. දකුණු අප්‍රිකානුවන්ගේ විශිෂ්ට පන්දු රැකීමත් ඔවන්ගේ පන්දු යැවීමට නොදෙවනි මට්ටමක පවතින අතර අති විශිෂ්ට උඩපන්දු දෙකක් හේතුවෙන් කමිඳු මෙන්ඩිස්ට සහ ධනංජය ද සිල්වාට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

තරගයේ 47 වැනි ඕවරය අවසන් වන තුරුම පන්දු යවා සිටි එකම වේග පන්දු යවන්නා කගීසෝ රබාඩා පමණි. සෙසු දඟ පන්දු යවන්නෝ සිව් දෙනාම තමන්ගේ ඕවර 10 ම යවා අවසන් කළ අතර නිරන්තරයෙන් දඟ පන්දු යවන්නකු වශයෙන් නොසැලකෙන ඒඩ්න් මාක්රම් පවා ඕවර 10 ක් නිමා කළේය. එය දකුණු අප්‍රිකානු කණ්ඩායමක් එක්දින තරගයකදී දඟ පන්දුවෙන් ඕවර 40 ක් නිමා කළ පළමු අවස්ථාවද විය.

 

- 213

 


අදහස් (1)

එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
  • Nimal Tuesday, 07 September 2021 11:22 PM

    විශිෂ්ඨයි!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.