Last Update  :  2025-08-15 13:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියානුවෝ ලෝක කුසලානයේ වාඩුව ගනිති

ඉන්දියානුවෝ ලෝක කුසලානයේ වාඩුව ගනිති

editorial - 2020 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීයව සහ නවසීලන්තය අතර මවුන්ට් මන්ගානුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති පස්වැනි විස්සයි20 තරගයේදී ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 5-0 ක් ලෙස ජය ගැනීමටද ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ඉන්දියානු කණ්ඩායමක් ඉන්දියාවෙන් පිටතදී ලැබූ ඉහළම විස්සයි20 තරගාවලි ජය ලෙස මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක් වෙයි. මින් පෙර ඔවුන් ලබා තිබූ ඉහළම විස්සයි20 තරගාවලි ජයග්‍රහණය වූයේ ඕස්ටේලියාවට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඒ ඒ රටවලදී ලැබූ 3-0 ක ජයග්‍රහණයන්ය.

2019 වසරේ එංගලන්තයේදී පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයකදී නවසීලන්තය හමුවේ ඉන්දියානුවෝ පරාජය වූහ. අද තරගයේදී ඉන්දියානුවන් ලද ජය එම පරාජයේ වාඩුව ගැනීමක් යයි කිව හැකිය. 1983 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දීය පිල වෙතින් කොදෙව් පිල පරාජය විය. එහෙත් ඒ සමගම පැවැති එක්දින තරගාවලියේදී ඉන්දියාවට පැමිණි කොදෙව්වෝ 5-0 කින් ඉන්දියාව පරාජය කළහ.
 
අද තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට ජස්ප්‍රීට් බුම්රා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 156 ක් පමණි. තරගය ජයගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 21 ක් අවශ්‍යව තිබූ නමුත් එහිදී හයේ පහර 2 ක් සමගින් ඔවුන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි.
 
තරගයේ වීරයා බවට පත්වූ ජස්ප්‍රීට් බුම්රා, දක්ෂ පන්දු යැවීමක නිතර වෙමින් නිලකුණු ඕවරයක්ද සමග ලකුණු 12 කට කඩුලු 3 ක් බිඳහෙළීය. නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නව්දීප් සයිනි සහ ශර්දුල් ඨාකූර් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.  

මුලු ලකුණු සංඛ්‍යාව 17 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාද ඇතුළුව නවසීලන්ත ඉනිමේ කඩුලු 3 ක් දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. ඉන් අනතුරුව පිටියේ එක් වූ ටිම් සෙයිෆර්ට් (50) සහ රොස් ටේලර් (53) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමට යළිත් ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආහ.

කෙසේ වුවත් නව්දීප් සයිනිගේ පන්දුවක් හමුවේ සංජු සැම්සන් අතට උඩ පන්දුවක් දෙමින් සෙයිෆර්ට් දැවී යෑමත් සමග නවසීලන්ත ඉනිමේ කඩා වැටීම ආරම්භ වූ අතර එම කඩුල්ලත් සමග ලකුණු 25 ක් ඇතුළත නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 6 ක් බිඳවැටිණ.

පන්දු 30 කදී වාර්තා වූ සෙයිර්ට්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක්ද, පන්දු 47 කදී වාර්තා වූ ටේලර්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක්ද ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකණු 163 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක රෝහිත් ශර්මා පන්දු 41 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 60 ක් ලබා සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගියේය.

ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල් (45) සමග එක්ව පන්දු 60 කදී ලකුණු 88 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශර්මා සමත් වූ අතර හමීෂ් බැනෙට්ගේ පන්දුවක් හමුවේ මිචෙල් සෑන්ට්නර් අතට උඩ පන්දුවක් දෙමින් රාහුල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. පන්දු 33 කට මුහුණදුන් රාහුල් හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම අලංකාර කළේය.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 3 කට 163
(ලොකේෂ් රාහුල් 45, රොහිත් ශර්මා 60, ශ්‍රෙයාස් අයියර් නොදැවී 33, ස්කොට් කුගිලීජන් 25/2)

නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 9 කට 156
(කොලින් මුන්රෝ 15, ටිම් සෙටිෆර්ට් 50, රොස් ටේලර් 53, ඉෂ් සෝධි නොදැවී 16, ජස්ප්‍රීට් බුම්රා 12/3, නව්දීප් සයිනි 23/2, ශර්දුල් ඨාකූර් 38/2)

-036

 


අදහස් (0)

ඉන්දියානුවෝ ලෝක කුසලානයේ වාඩුව ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.