Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු කුසලාන තරගාවලිය වැට උඩ

ආසියානු කුසලාන තරගාවලිය වැට උඩ

editorial - 2025 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මීළඟ රැස්වීම බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වුවහොත් එය වර්ජනය කිරීමට ඉන්දියාව ඇතුළු ආසියානු කලාපයේ ක්‍රිකට් පාලක මණ්ඩල කිහිපයක් සූදානමින් සිටිති. එවන් තත්ත්වයක් ඇතිවුවහොත් 2025 වසරට නියමිත ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීම පිළිබඳව මහත් අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවිය හැකිය. 

ඩකා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රිකට් සම්මේලන රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකාව, ඕමානය සහ ඇෆ්ඝනිස්ථානයත් ඉන්දියාව හා අත්වැල් බැඳගෙන සිටිති. 

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ වත්මන් සභාපතිවරයා වන මොසින් අලි නක්වි මහතා අවධාරණය කර සිටින්නේ ජූලි 24 වැනිදා පැවැත්වීමට නියමිත මීළඟ රැස්වීම බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්විය යුතු බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් ආසියානු කලාපයේ සෙසු රටවල ක්‍රිකට් ප්‍රධානීන්ගේ මනාපයක් නැත. 

පාකිස්තානු ජාතිකයකු වන මොසින් අලි නක්වි මහතා පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේත් සභාපතිවරයාය. ඔහු පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා වන අතරම පාකිස්තානු මාධ්‍ය ක්ෂේත්‍රයේ ද දැවැන්තයෙකි. 

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ රැස්වීම ඩකා නුවරදී පැවැත්වුවහොත් තමන් ඊට සහභාගී නොවන බව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විටත් ආසියානු ක්‍රිකට් සම්මේලනයට මෙන්ම එහි සභාපතිවරයා වන මොසින් අලි නක්වි මහතාටත් නිල වශයෙන් දන්වා ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ “ඉහළ පෙළේ මූලාශ්‍රයක්” උපුටා දක්වමින් ‘ඉන්දියා ටුඩේ’ පුවත් පත වාර්තා කරයි. මෙම තීරණයට හේතුව වී ඇත්තේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඇතිවී තිබෙන දේශපාලන සබඳතා පළුදු වීමයි. 

බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතව සිටි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ද පසුගියදා එම සංචාරය අතහැර දැම්මේ මෙම පළුදු වූ දේශපාලනික සබඳතා හේතුවෙනි. 

ආසියානු ක්‍රිකට් සමුළුවේ රැස්වීම සඳහා වෙනත් ස්ථානයක් යොදාගන්නා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීමක් කර ඇතත් මේ දක්වා ඊට ප්‍රතිචාරයක් ලැබී නැති බවත් ‘ඉන්දියා ටුඩේ’ පුවත් පත කියයි. 

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව, කලාපයේ ප්‍රබලයන් නොමැතිව ගනු ලබන තීරණයක් නිල වශයෙන් පිළි නොගැනෙනු ඇත. එබැවින් මෙවන් තත්ත්වයක් හමුවේ ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීම පිළිබඳව ඇත්තේ විශාල සැකයකි. 

අනෙක් අතට ආසියානු ක්‍රිකට් සම්මේලනයේ රැස්වීම ඩකාහි පැවැත්වීම සම්බන්ධයෙන් මොසින් නක්වි මහතාගේ අවධාරණය, ආසියානු කුසලාන කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාවට අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීමේ උත්සාහයක් ලෙස සලකනු ලබන බව ද කියැවේ. මෙම රැස්වීමට තවත් ඇත්තේ දින 5 ක් පමණි. එහෙත් ආසියානු කුසලාන තරගාවලියේ අනාගතය තීරණය කෙරෙන රැස්වීම පැවැත්වෙන ස්ථානයේ වෙනසක් සම්බන්ධයෙන් මේ දක්වා කසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. ප්‍රශ්නය ඇත්තේ එය පැවැත්වෙන්නේ කිනම් රටේද යන්න පිළිබඳ තීරණයක් නොතිබීමයි. 
දැනට පවතින තත්ත්වය අනුව ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාවේදී, පාකිස්තානයේදී හෝ බංග්ලාදේශයේදී නොපැවැත්වෙනු ඇත. විකල්ප දෙකක් ලෙසින් ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාවයි. එහෙත් අවසන් වරට පැවැති තරගාවලිය (2023) පැවැත්වූයේත් ශ්‍රී ලංකාවේදීය. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට (ශ්‍රී ලංකාවේදී) ඇත්තේ තවත් මාස කිහිපයක් වන බැවින් මෙවර ආසියානු කුසලාන තරගාවලියත් විස්සයි-20 ආකෘතියෙන් පැවැත්වීමේ වැඩි ඉඩක් තිබේ. 

---------------------------
ඉන්දියා ටුඩේ ඇසුරිනි
----------------------------

 -213


අදහස් (0)

ආසියානු කුසලාන තරගාවලිය වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.