Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසීරු දුර්ගයක් නැඟීමේ අභියෝගයක්

අසීරු දුර්ගයක් නැඟීමේ අභියෝගයක්

editorial - 2021 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

---------------------
දමින්ද විජේසූරිය
---------------------

මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 96 ක වාසියත් සමගින් දෙවැනි ඉනිමේදී සාර්ථක පිතිහරඹයක නිරත වූ කොදෙව්වෝ, දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අසීරු දුර්ගයක් නැඟීමේ අභියෝගයක් එල්ල කළහ. තරගයේ සිව්වැනි දිනය වූ අද (බ්‍රහස්පතින්දා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 280 ක් ලබාගත් බටහිර ඉන්දීය කණ්ඩායම ඇන්ටිගුවාහිදී පැවැත්වෙන මෙම තරගයෙන් ජයගැනීම සඳහා සිව්වැනි ඉනිමේදී ලකුණු 377 ක් ලබාගැනීමේ අභියෝගයක් ශ්‍රී ලංකා පිලට බාර කළේය. 

බ්‍රහස්පතින්දා දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 29 ක් ලබා සිටියේය. 

කොදෙව් නායක ක්‍රෙග් බ්‍රැත්වෙයිට් (85), හිටපු නායක ජේසන් හෝල්ඩර් (නොදැවී 71) සහ කයිල් මේයර්ස් (55) දෙවැනි ඉනිමේදී අර්ධ ශතක ලබාගනිමින් සිය කණ්ඩායම මෙවැනි ශක්තිමත් ස්ථානයක් කරා කැඳවාගෙන ගියහ. පළමු ඉනිමේදී මෙන් නොව, දෙවැනි ඉනිමේදී තරමක් වේගයෙන් ලකුණු රැස්කරමින් කොදෙව්වෝ මෙම ස්ථානය අත්පත් කරගත්හ.

ප්‍රතිඵලය වූයේ ඕවර 116 ක් වැනි සංඛ්‍යාවක් ඇතුළත ලකුණු 377 ක් ලබාගැනීමේ අවදානම් ඉලක්කයක් ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත වීසි කිරීමයි. 

එය බැලූ බැල්මට නම් ඕවරයකදී ලකුණු 3.25 ක වේගයක් වූවත් ටෙස්ට් ක්‍රිකට් තරගයක අවසන් දිනයේදී එය කිසිසේත්ම පහසු ඉලක්කයක් නොවේ. මෙවැනි ඉලක්කයකින් ඇතිවන පීඩනය නිසා පස්වැනි දිනය ආරම්භයේදීම පිතිකරුවන් පසුපාදයට තල්ලු කෙරෙන අතර එයම ඔවුන්ගේ අවාසියට සිටී. 

සිව්වැනි දිනය ආරම්භයේදීම කොදෙව්වෝ තරගයේ පාලනය අතට ගන්නා බවක් දක්නට ලැබිණ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරිව තිබූ කඩුලු දෙකම විනාඩි 20 ක් ඇතුළතදී බිම හෙළුෑ කෙමර් රෝච් ලකුණු 96 ක මුල් ඉනිමේ වාසියක් කොදෙව් පිලට අත්කර දුන්නේය. 

පෙරදින සන්ධ්‍යාවේදී අර්ධ ශතකයට අත පොවන මානයේ සිටි පැතුම් නිස්සංක උදෑසනම සිය අර්ධ ශතකය ලබාගත්තේය. නමුත් දිගින් දිගටම තමන් වෙත කඩා පනින කෙමර් රෝච්ගේ කෙටි පන්දු වලින් ඔහුට ගැලවීමක් නොතිබිණ. 

මෙම තණතීරුවේදී හුක් සහ පුල් පහර ගැසීම ඉතාමත් අසීරු වූ අතර යම් තාක් දුරට හෝ කෙටි පන්දු වලට හොඳින් මුහුණ දුන්නේ ඉතාමත් උස (අඩි 6 යි අඟල් 7 ක්) ක්‍රීඩකයකු වන ජේසන් හෝල්ඩර් පමණි. 

කොදෙව් දෙවැනි ඉනිමේදී දුෂ්මන්ත චමීරද කෙටි පන්දු වලින් කොදෙව්වන්ට සංග්‍රහ කළ අතර හෝල්ඩර් හැරෙන්නට සෙසු කොදෙව් පිතිකරුවෝ ඒවායින් පරෙස්සම් වීමට වගබලාගත්හ. කයිල් මේයර්ස් මෙන්ම බ්‍රැත්වෙයිට් ද අර්ධ ශතක ලබාගත්තේ ඉවසීමකින් යුතුව පන්දුවට පහර දෙමිනි. කොදෙව් පිලේ දෙවැනි කඩුල්ලත් ලකුණු 58 දී බිම දමාගත් නමුත් බ්‍රැත්වෙයිට් සහ මේයර්ස් දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 82 ක සම්බන්ධතාව ඔවුනට පැහැදිළි මාවතක් විවර කර දුන්නේය. 

හතරේ පහරක් නතර කිරිමට ගත් උත්සාහයේදී ලසිත් ඇඹුල්දෙණියගේ වම් පාදය ඇඹරී යාම හේතුවෙන් ඔහුට ගිලන් මැස්සක් මතින් ආපසු ක්‍රීඩාගාරයට යෑමට සිදුවිය. දඟ පන්දු යවන්නකු වශයෙන් ඇඹුල්දෙණියගේ සේවය ශ්‍රී ලංකා නායකයාට නොලැබීමද කොදෙව්වන්ගේ වාසියට හිටියේය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින එකම දඟ පන්දු යවන්නා වූ ධනංජය ද සිල්වා හමුවේ පමණක් තරමක් දුරට මෙල්ල වූ කොදෙව්වේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට හොඳින් පහර දුන්හ. ඔවුන් අපේක්‍ෂා කළ ලකුණු වේගය ලබාගත්තේ එලෙසිනි. ධනංජය ද සිල්වා හමුවේ ඕවරයකදී ලකුණු 2.89 ක් පමණක් ලබාගත් කොදෙව් පිතිකරුවෝ වේග පන්දු යවන්නන් තිදෙනාගේ ඕවර 45 න් ලකුණු 185 ක් (ඕවරයකදී ලකුණු 4.11 ක්) ලබාගත්හ. 

ශ්‍රී ලංකා පිල තවත් අමාරුවේ වැටුණේ බ්‍රැත්වෙයිට් සහ හෝල්ඩර් දෙදෙනා දෙයාකාරයක පිතිහරඹයක නිරත වූ බැවිනි. ආරම්භක පිතිකරුවා වූ බ්‍රැත්වෙයිට් සිය ලකුණු 85 වෙනුවෙන් පන්දු 196 කට මුහුණ දෙමින් තැන්පත් පිතිකරුවකුගේ විලාසයක් අනුගමනය කරද්දී හෝල්ඩර් දුම්මල වරම අතට ගත් යකැදුරා මෙන් විය. පන්දු 88 කින් ලකුණු 77 ක් උදුරාගත් හිටපු නායකයා, හතරේ පහර 7 ක් ඊට ඇතුළත් කර තිබිණ. ඒවායින් කිහිපයක්ම කෙටි පන්දු හමුවේ ගැසූ පුල් පහර වලිනි. 

කෙසේ වෙතත් තරගයේ අවසන් දිනය ශ්‍රී ලංකා පිතිකරුවන්ට බෙහෙවින් අභියෝගාත්මක එකක් වනු ඇත. විශේෂයෙන්ම කෙටි පන්දු සඳහා තණතීරුවෙන් ලැබෙන සහයෝගයත්, පුල් පහර ගැසීමට ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන කැමැත්තත් හේතුවෙන් පා ඉන්න පැත්තෙන් වැඩිපුර ක්‍රීඩකයන් රඳවා පිතිකරුවන් එවන් පහර කරා පෙළඹවීම කොදෙව් උපාය වන්නට පුළුවන. ඒ සඳහා අවශ්‍ය තරම් ලකුණු කොදෙව් පුවරුවේ තිබේ. 

 

ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 354
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 258 
බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම 
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - ප.දුෂ්මන්ත චමීර 85
ජෝන් කැම්බෙල්  - ඇ.දික්වැල්ල ප.ලක්මාල් 10
ජර්මේන් බ්ලැක්වුඩ් - ඇ.දික්වැල්ල ප.දුෂ්මන්ත චමීර 18
කයිල් මේයර්ස් - ක.මු.කළා ප.ලක්මාල් 55
ජේසන් හෝල්ඩර් - නොදැවී  71
ජොෂුවා ද සිල්වා - නොදැවී  20
අතිරේක 21
එකතුව ඕවර 72.4 කදී කඩුලු 4 ක් දැවී  280
කඩලු වැටීම   
1-14(ජෝන් කැම්බල්), 2-58(ජර්මේන් බ්ලැක්වුඩ්), 3-14(කයිල් මේයර්ස්), 4-227(ක්‍රෙග් බ්‍රැත්වෙයිට්)
පන්දු යැවීම  
සුරංග ලක්මාල් : 14-3-62-2, විශ්ව ප්‍රනාන්දු : 12.4-1-49-0, ධනංජය ද සිල්වා : 28-3-81-0, දුෂ්මන්ත චමීර : 18-0-74-2
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම 
ළහිරු තිරිමාන්න - නොදැවී  17
දිමුත් කරුණාරත්න - නොදැවී  11
අතිරේක 1
එකතුව ඕවර 9 කදී කිසිවකු නොදැවී  29
පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝ  
ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දු
පන්දු යැවීම   
කෙමර් රෝච් : 4-0-18-0, ජේසන් හෝල්ඩර් : 3-2-03-0, රකීම් කොන්වෝල් : 2-0-08-0

 


අදහස් (0)

අසීරු දුර්ගයක් නැඟීමේ අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.