Last Update  :  2025-05-10 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අනුකම්පා විරහිත අයියර් ශ්‍රී ලංකාව වනසයි
තුන්වැනි විස්සයි-20 තරගය

අනුකම්පා විරහිත අයියර් ශ්‍රී ලංකාව වනසයි

editorial - 2022 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිසිදු අනුකම්පාවක් නැති අයුරින් ධරම්සාලාහිදී අද (27 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදීත් ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දියානුවෝ තරග 3 කින් සමන්විත තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගත්තේ කජු කන්නාක් මෙනි. ඉන්දියානුවන් අද ලබාගත්තේ පිට පිටම ලද 12 වැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයයි.

දසුන් ශානකගේ ධෛර්යවත් පිතිහරඹයට පින්සිදුවන්නට, නියමිත ඕවර 20 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 146 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. එහෙත් මෙම ඉලක්කය, පිට පිටම සිය 12 වැනි ජයග්‍රහණය සොයා යමින් සිටි ඉන්දීය පිතිකරුවන්ට රස බැලීම පිණිස ලැබුණු ‘ගුලාබ් ජාමන්’ නම් වූ පැණි අග්ගලාවක් වැනි විය.

කිසිදු අපහසුතාවකින් හෝ අභියෝගයකින් තොරව, ඉලක්කය කරා ගිය ඉන්දියානුවන් අතරේ ශ්‍රෙයාස් අයියර් පෙරමුණේ රාළ විය. ශ්‍රී ලංකාව හමුවේ පිට පිටම තුන්වැනි විස්සයි-20 අර්ධ ශතකය ලබාගත් ශ්‍රෙයාස් ඔහුගේ අවසන් වි-20 ඉනිම 6 දී ලබාගත් ලකුණු සංඛ්‍යාව 335 කි. ඒවායේදී ශ්‍රෙයාස්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 26, 80, 25, නොදැවී 57, නොදැවී 74 සහ නොදැවී 73 ක් ලෙසිනි.

තරග තුනකදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ලකුණු 204 ක් ලබාගත් ශ්‍රෙයාස් අයියර් එක්වරක් හෝ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අසමත් වූහ.

අයියර් මෙන්ම රවීන්ද්‍ර ජදේජාත් තරග 3 ක දීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවාගත නොහැකි වූ අනෙක් පිතිකරුවාය. තරග 3 දී ජදේජාගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ නොදැවී 3, නොදැවී 45 සහ නොදැවී 22 ක් ලෙසිනි.

විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී එක දිගට වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබා සිටින අනෙක් කණ්ඩායම් වන්නේ ඇෆ්ඝනිස්ථානය (12) සහ රොමේනියාව (12) යි. එහෙත් ඇෆ්ඝනිස්ථානයේ සහ රොමේනියාවේ ජයග්‍රණ වාර්තා වී ඇත්තේ ශ්‍රේණිගත කිරීම් අතරේ 10 වැනි ස්ථානයෙන් පහළ සිටින කණ්ඩායම් වලට එරෙහිවය. ඉන්දීය පිලේ ජයග්‍රහ 12 ම වාර්තා වී ඇත්තේ ශ්‍රේණිගත ලයිස්තුවේ 10 වැනි ස්ථානයට ඉහළින් සිටින කණ්ඩායම් වලට එරෙහිවය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් පළමු ඕවරයේදීම ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබා දැවී ගියේය. පසුගිය මාස කිහිපයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම වූ පැතුම් නිස්සංක පන්දු 10 කට මුහුණ දුන් නමුත් ඔහුට ලබාගත හැකිවූයේ ලකුණක් පමණි. සිව්වැනි ඕවරයේදී චරිත් අසලංක දැවී යන විට පන්දු 24 කින් ලකුණු 11 ක් පමණක් ලබා සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ තිදෙනෙක් ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ.

ලකුණු ලබාගැනීම කෙසේ වෙතත් තමන්ගේ ස්ථානය රැකගැනීම අභියෝගයක්ව තිබූ ජනිත් ලියනගේ පන්දු 19 කට පසුව දැවී යන විට ලකුණු 29 දී 4 වැනි කඩුල්ලත් බිම වැටිණ. මුලු ලකුණු සංඛ්‍යාව 60 දී දිනේෂ් චන්දිමාල් දැවී ගියේ දසුන් ශානක පිටියේ ඉතිරි කරමිනි.

දෑස වසාගෙන එන එන පන්දුවට පහර දීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොදුටු ශ්‍රී ලංකා නායකයා ඉන්දීය පන්දු යවනනන් හමුවේ අභිතව පිත්ත හසරුවමින් පන්දු 38 කින් ලකුණු 74 ක් උදුරා ගත්තේය.  දසුන්ගේ ඉනිම හතරේ පහර 9 කින් සහ චිත්තාකර්ශනීය හයේ පහර දෙකකින් අලංකාර වෙද්දී චාමික කරුණාරත්න අනෙක් අන්තයට වී සහාය ඉනිමක් ක්‍රීඩා කරමින් සිටියේ යම් හෙයකින් නායකයා දැවී ගියොත් එතැන් සිට ප්‍රහාරය අතට ගැනීමේ අදහසිනි.

ඉන්දීය නායකයා පන්දු යවන්නන් පස් දෙනකුගෙන් සිය ඉනිම සම්පූර්ණ කරගත්තේය. දසුන් ඉවක්බවක් නැතිව ලකුණු ලබාගත් නමුත් අතිරේක පන්දු යවන්නකුගේ සහාය ඉන්දීය නායකයාට අවශ්‍ය නොවීය.

 

- 213


අදහස් (0)

අනුකම්පා විරහිත අයියර් ශ්‍රී ලංකාව වනසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.