Last Update  :  2024-09-18 11:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානුවෝ අපරාජිත බව රැකගනිති
විස්සයි-20 ලෝක කුසලාන - 2024

දකුණු අප්‍රිකානුවෝ අපරාජිත බව රැකගනිති

editorial - 2024 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර නිව්යෝක් නුවර නසාවු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ‍ඊයේ (10 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව පිට පිටම ලැබූ තෙවැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 114 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109 ක් පමණි. බංග්ලාදේශ ඉනිම වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තව්හිද් රිදෝයි පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 37 ක් රැස්කළේය. මහමදුල්ලා රියාදු පන්දු 27 කින් ලකුණු 20 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කේෂව් මහරාජ් ලකුණු 27 කට කඩුලු 3 ක් බිඳහෙළමින් බංග්ලාදේශ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූ අතර ඉන් කඩුලු 2 ක්ම ඔහු දවාගනු ලැබුවේ අවසන් ඕවරයේදී බංග්ලාදේශයට ජයග්‍රහණය පෙනි පෙනී තිබියදීය. ඇන්රික් නොකියා සහ කගිසෝ රබාඩා කඩුලු 2 බැගින් බිඳහෙළමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය ‍කරා ගෙන යෑම සඳහා මහරාජ්ට අනගි සහායක් දුන්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට ටැන්සිම් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 113 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ටැන්සිම් සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය.

සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 46 ක් රැස්කිරීමට හෙන්රිච් ක්ලාසන් සමත් විය. ලකුණු 23 කට කඩුලු 4 ක් දැවී තිබයදී ඩේවිඩ් මිලර් (29) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ක්ලාසන් තරගයේ වීරයා බවටද පත්විය.

දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 6 කට 113

(ක්වින්ටින් ඩි’කොක් 18, හෙන්රිච් ක්ලාසන් 46, ඩේවිඩ් මිලර් 29, ටැන්සිම් හසන් 18/3, ටස්කින් අහමඩ් 19/2)

බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 7 කට 109   

(නජ්මුල් හොසේන් 14, තව්හිද් රිදෝයි 37, මහමදුල්ලා රියාද් 20, කේෂව් මහරාජ් 27/3, ඇන්රික් නොකියා 17/2, කගිසෝ රබාඩා 19/2)


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ අපරාජිත බව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.