Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටෙයි

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටෙයි

editorial - 2022 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

රටවල් 37 ක සහභාගීත්වයෙන් ස්පාඤ්ඤයේ සැන්ටැන්ඩර් නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කේවල සහ යුගල ඉසව්වල තෙවැනි වටයෙන් ඉදිරියට යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපොහොසත් වූහ. තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේදී ශ්‍රී ලංකාව 20 වැනි ස්ථානයට පත් විය.

කේවල සහ යුගල ඉසව්වලට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් තෙවැනි වටයට පිවිසියේද බාලිකා යුගල ඉසව්වෙන් තරග වැදුණ වරංගනා ජයවර්ධන සහ රනිත්මා ලියනගේ පමණි. පළමු වටයේදී නිතරග ජයක් ලැබූ ඔවුන් දෙදෙනා, දෙවැනි වටයේදී ස්ලෝවේනියානු ක්‍රීඩිකාවන් දෙපලක් පරාජය කරමින් තෙවැනි වටයට පිවිසියහ.

කෙසේ වුවත් තෙවැනි වටයේදී ජපානයේ රුයි කියාමා සහ කනානෝ මුරෝයා හමුවේ වට 2-0 ක් ලෙස (21/10 සහ 21/07) පරාජයට පත්වීම හේතුවෙන් වරංගනාට සහ රනිත්මාට තෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූහ.

බාලක කේවල, බාලක යුගල, බාලිකා කේවල, බාලිකා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව් 5 යටතේ පැවැති මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 467 දෙනෙක් සහභාගි වූහ. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කේවල ඉසව් දෙක සඳහා ක්‍රීඩකයන් තිදෙනකු සහ ක්‍රීඩිකාවන් තිදෙනකුද, මිශ්‍ර යුගල ඉසව්ව සඳහා කණ්ඩායම් 3 ක්ද, සෙසු යුගල ඉසව් දෙක සඳහා කණ්ඩායම් 2 බැගින්ද තරග වැදිණ.

බාලක කේවල ඉසව්වට සහභාගි වූ ක්‍රීඩකයන් තිදෙනාගෙන් සවිනක වීරසේකර සහ තිලින රාජකරුණා පළමු වටයෙන්ම ඉවත් වෙද්දී, සෙතුම් සිත්මක දෙවැනි වටයට සුදුසුකම් ලැබීය. බාලිකා කේවල ඉසව්වට සහභාගි වූ ක්‍රීඩිකාවන් තිදෙනාගෙන් රනිත්මා ලියනගේ දෙවැනි වටයට සුදුසුකම් ලැබූවේ වරංගනා ජයවර්ධන සහ පංචාලි අධිකාරි පළමු වටයෙන්ම ඉවත් වෙද්දීය.

මිශ්‍ර යුගල ඉවසව්වට සහභාගි වූ පුලින වෙල්ලාලගේ සහ රනිත්මා ලියනගේ දෙවැනි වටයට පිවිසි නමුත් එම ඉසව්වට සහභාගි වූ සෙසු කණ්ඩායම් දෙක වූ ශෙනුක් සමරරත්නට සහ වරංගනා ජයවර්ධනට මෙන්ම ජේසන් හෝමර්ට සහ පංචාලි අධිකාරිට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවූහ.

ජේසන් හෝමර් සහ සවිනක වීරසේකර මෙන්ම සෙනුක් සමරරත්න සහ පුලින වෙල්ලාලගේ බාලක යුගල ඉසව්වේ දෙවැනි වටයේදීද, පංචාලි අධිකාරි සහ මනුදි මිතාරා බාලිකා යුගල ඉසව්වේ දෙවැනි වටයේදීද පරාජයට පත් වූහ.

තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරග වට 3-1 කින් දකුණු කොරියාව පරාජය කළ චීන තායිපේ රාජ්‍යය සමත් විය. ඒ අනුව දකුණු කොරියාවට රිදී පදක්කම හිමි වූ අතර ඉන්දුනීසියාව සහ ජපානය ලෝකඩ පදක්කම් හිමිකර ගත්තේය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.