Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සුමේධ ආසියානු ක්‍රීඩා උළෙලට
ජාතික මලල ක්‍රීඩා

සුමේධ ආසියානු ක්‍රීඩා උළෙලට

editorial - 2022 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දියගම ‘මහින්ද රාජපක්ෂ’ පිටියේදී ඊයේ (10) ආරම්භ වූ දෙවැනි ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ මීටර 81.79ක දක්ෂතාවයක් දැක්වීම ඊයේ දිනයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළකළ දක්ෂතා අතර කැපී පෙණුනි.

එය සුමේධට මෙම වසරේදී පැවැත්වීමට නියමිත 22 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා හෙල්ල විසිකිරීම (පිරිමි) ඉසව්වෙන් නිර්දේශ ලබා ගැනීමට ප්‍රමාණවත් වනු ඇත. මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවටද (මීටර 83.04) වසර 2015 දී සුමේධ හිමිකම් කියා ඇත්තේද මෙම දියගම පිටියේදීය.

සුමේධගේ දක්ෂතා පසුගිය කාලය පුරා අවම තත්ත්වයකට පත්ව තිබුණු අතර ඊයේ ඔහු දක්ෂතා අතරට පැමිණීම කැපී පෙණේ. වසර 2019 ඔහු අවසන් වරට ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වෙමින් ‘කත්මන්ඩු’ සාග් ක්‍රීඩා උළෙලේ දී මීටර 74.97කට හිමිකර ගත්තේ ලෝකඩ පදක්කමයි.

මෙම 31 හැවිරිදි ක්‍රීඩකයා වසර 2016 රියෝ ඔලිම්පික් උළෙල ද නියෝජනය කිරීමට සමත්විය. 2019 චීනයේදී පැවැති ලෝක ආරක්ෂක හමුදා ක්‍රීඩා උළලේදී ලෝකඩ පදක්කමක් දිනා තිබේ.

ඊයේ දියගමදී ඔහු හා දක්ෂතා පළ කළ හෙල්ල විසිකිරීමේ සෙසු ජාතික ශූරයා වන සම්පත් රණසිංහ මීටර 73.94කට ඉසව්වේ දෙවැනි තැනට පත්විය.

මේ අතර මීටර 400 ක්‍රීඩක අනුර දර්ශන කලකට පසු ඊයේ මීටර 46.37ක දක්ෂතාවක් ඉසව්වේ පළ කළේය. අනුර දර්ශන 2019 සාග් උළෙලේදී තත්පර 46.69කට රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයායි.

රිටි පැනීම (පිරිමි) ඉසව්වේ ඊයේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන්හි කැපී පෙනෙන තත්ත්වයක් ගත්තේය. එහිදී ඒ පුවීන්තරන් මීටර 5.10 ක  රිටි පැනීමක් ප්‍රදර්ශනය කළේය. මෙහි  ශ්‍රී ලංකා වාර්තාව ඔහුට අහිමි වූයේ මත සෙන්ටිමීටරයක් (මීටර් 5.11) පමණක් අඩුවීමෙනි.

එම්.එම්.ඒ.එස්. බණ්ඩාරගේ මිටියේ විසි කිරීමේ දක්ෂතාද ඊයේ ඉසව් දක්ෂතා අතර  කැපී පෙණුනේය. ඒ මීටර 50.54කට  මිටිය විසි කිරීමට සමත්වීමෙනි. සුමේධ කපුකොටුව සතුව මෙහි ශ්‍රී ලංකා වාර්තාව වසර 2015 සිට පවතින්නේ මීටර 52.53කටය.

එළඹෙන (2022) ආසියානු ක්‍රීඩා උළෙල හා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් මෙම දෙවැනි මලල ක්‍රීඩා තේරීමේ තරගාවලිය අදත් (11) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


අදහස් (0)

සුමේධ ආසියානු ක්‍රීඩා උළෙලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.