Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය ඉල්ලයි

සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය ඉල්ලයි

editorial - 2023 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීළඟට යෙදී තිබෙන 14 වැනි සාග් (දකුණු ආසියානු) ක්‍රීඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාතික ඔලිම්පික් කමිටුවට උපදෙස් ලබා දී තිබේ.

ඊට අවස්ථාවක් සැලසෙන්නේ නම්, ක්‍රීඩා අමාත්‍යාංශය අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් බවත් එහිදී ක්‍රීඩා ඇමැතිවරයා ඔලිම්පික් කමිටුවට ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවත්, 2024 මාර්තු 14 වැනිදා සිට අප්‍රේල් 2 වැනිදා දක්වා ‘ලාහොර්’ නුවරදී 14 වැනි දකුණු ආසියානු (සාග්) ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා තමන් සත්කාරය දරන බවට පාකිස්තානය නිල වශයෙන් කළ ප්‍රකාශය මේ දක්වා වෙනස් කර නැත.

එවැනි පසුබිමක් තුළ මීළඟ සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ලැබීම සම්බන්ධයෙන් ස්ථිර අදහසක් මේ වන විට ප්‍රකාශ කළ නොහැකි බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසීය.

අවසන් වරට 13 වැනි සාග් ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණේ 2019 දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වාය. එයින් පසුව 14 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය පාකිස්තානයට බාර වූ අතර, එය 2021 වසරේදී පැවැත්වීමට අපේක්‍ෂා කළත්, කොවිඩ් වසංගතය ඇතුළුව පාකිස්තානය තුළ පැනනැගුණු අභ්‍යන්තර ගැටලු හේතුවෙන් මේ දක්වා පැවැත්වීමට නොහැකි වී ඇත.

මේ දක්වා පාකිස්තානය 1989 දී හා 2004 දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දෙකක සත්කාරය දරා තිබේ. එය දිගින් දිගටම කල් දැමීමෙන් ශ්‍රී ලංකාව ඇතුළුව කලාපයේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවන අසාධාරණය සැලකිල්ලට ගනිමින් එය හැකි ඉක්මණින් පැවැත්වීම සඳහා දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනයට බලපෑම් කරන ලෙස එහිදී ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන්ගෙන් ක්‍රීඩා ඇමැතිවරයා ඉල්ලීම් කර තිබේ.

ඒ සඳහා සත්කාරය ලබාගත් පාකිස්තානය ඊට පාකිස්තානු රුපියල් බිලියන දෙකක මුදලක් වෙන්කර තිබෙන බව ද වාර්තා වේ. කෙසේ වුවත් කලාපයේ බලවතා වන ඉන්දියාව ක්‍රීඩා උළෙලේ පාකිස්තානයේ සත්කාරය සම්බන්ධයෙන් සිය නොසතුට පළ කර තිබේ. එය එහි සත්කාරය ලබා ගැනීමට උනන්දු වී සිටින ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

අවසන් වරට වසර 2019 දී ‘කත්මණ්ඩු’ නුවර දී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය වෙනුවෙන් රුපියල් විසිඅට කෝටියකට ආසන්න මුදලක් (276,840,000) ශ්‍රී ලංකා රජය වැය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 800 දෙනකු සඳහා නේපාලයේ නවාතැන් හා ආහාර පාන සඳහා රුපියල් දහතුන් කෝටියකට ආසන්න (129,600,000) මුදලක් ද ගුවන් ප්‍රවේශ පත්‍ර වියදම සඳහා රුපියල් දස කෝටියක් ද (10,000,000) වැය කර තිබේ.

එහිදී තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රක්‍ෂණ ආවරණ සඳහා රුපියල් අසූ ලක්ෂයක් ද (8,000,000) හා අමතර වියදම් සඳහා තවත් රුපියල් කෝටි දහයක් ද (10,000,000) වියදම් කර තිබේ.

එම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පත්වෙමින් රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 83ක් හා ලෝකඩ පදක්කම් 128ක් (එකතුව 251) දිනා ගත්තේය.

ක්‍රීඩා උළෙල ජයගත් ඉන්දියාව රන් පදක්කම් පමණක් 174ක් දිනා ගැනීමට සමත් විය. එහිදී පාකිස්තානයට සිවුවැනි තැන හිමි වූයේ රන් පදක්කම් 31ක් ලබා ගැනීමෙනි.

මෙම ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා ඇමැති ධුරය දරමින් සිටියදී අදහස් දැක්වූ නාමල් රාජපක්‍ෂ මහතා පැවැසුවේ තවදුරටත් සාග් පදක්කම් ඉලක්ක කිරීම හා ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රවර්ධනයට ඵලදායී නොවන බවත් ඉන් ඉහළ ජාත්‍යන්තර පදක්කම් ජයග්‍රහණ කෙරෙහි ශ්‍රී ලංකාව දැන් අවධානය යොමු කළ යුතු බවත්ය.


අදහස් (0)

සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.