Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සමස්ත ශූරතාව බස්නාහිර පළාතට
ජාතික මහ ක්‍රීඩා උළෙල 2023

සමස්ත ශූරතාව බස්නාහිර පළාතට

editorial - 2023 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස පිටියේ දී නිමාව දුටු 47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව රන් පදක්කම් 115 ක් හිමිකරගත් බස්නාහිර පළාත විසින් දිනාගන්නා ලදී. 1972 දී මෙම ක්‍රීඩා උළෙල ආරම්භවීමෙන් පසුව එක් වතාවක් හැරෙන්නට සෙසු සියලුම වසරවලදී සමස්ත ශූරතාව දිනාගැනීමට සමත්ව ඇත්තේ බස්නාහිර පළාතයි.

කෙසේ වෙතත් මෙය වසර 2022 සඳහා වන ජාතික මහා ක්‍රීඩා උළෙලයි. ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ මෙම වසරට (2023) නියමිත 48 වැනි ක්‍රීඩා උළෙලේ පළමු අදියර මෙම වසරේදීම ආරම්භ කරන බවයි.

එදා මෙදා තුර ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ දී 1975 දී පැවති සිව් වැනි ක්‍රීඩා උළෙල පමණක් දකුණු පළාත විසින් දිනාගැනීමට සමත්ව තිබේ.  අවසන් වරට වසර 2019 බදුල්ලේ දී පැවති 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේදී ජයග්‍රාහී බස්නාහිර පළාත හිමිකරගෙන තිබෙන රන් පදක්කම් ගණන 99 කි.

පසුගිය සෙනසුරාදා (26 වැනිදා) ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බව නිවේදනය වුවද ජනාධිපතිවරයා ඊට සහභාගි නොවීය.  සමාප්ති උත්සවය සඳහා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා සහභාගි නොවීම ද විශේෂ අවධානයක් යොමුවූ කාරණාවක් විය. ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටි ඇතැම් දෙනෙක් ක්‍රීඩා ඇමැතිවරයාට අප්‍රසාදය පළකර සිටි බව වාර්තා විය.

ක්‍රීඩා ඉසව් 30කින් සමන්විත වූ ජාතික මහ ක්‍රීඩා උළෙලේ  කාන්තා හා පිරිමි ශූරතා 25ක්ම දිනාගැනීමටත් ජයග්‍රාහී බස්නාහිර පළාත සමත්වීම කැපී පෙනේ.

දින තුනක් පුරා කොළඹ සුගතදාස පිටියේ දී ක්‍රීඩා උළෙල පැවැත්වීමේ දී නව මලල ක්‍රීඩා තරග වාර්තා පහක් සටහන් විය. ඉන් වඩාත්ම කැපී පෙනුණේ වසර 29ක්ම පැරණි මීටර් 110 – කඩුලු ඉසව්වේ වාර්තාව මූලික වටයේදීම තත්පර 14.18 කට බිඳ දැමීමට බස්නාහිර පළාත නියෝජනය කරමින් අයි.ජී.ජේ.අයි. ලක්විජය  සමත්වීමයි. එහි පැරණි තරග වාර්තාව (තත්පර 14.28) හිමිකරගෙන සිටියේ චමින්ද ෆොන්සේකා විසිනි.

මෙම ක්‍රීඩා උළෙල වසර 23 ක සිය ක්‍රීඩා දිවියේ අවසන් තරග වැදීම ලෙස ප්‍රකාශයට පත් කළ මෙරට හෙල්ල විසිකිරීම ඉසව්වේ ප්‍රකට ක්‍රීඩිකාවක වන නදීකා ලක්මාලි ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්ම එම සමුගැනීම සම්පූර්ණ කිරීම මෙවර ක්‍රීඩා උළෙලට ලැබුණු අමතර වටිනාකමකි.

මලල ක්‍රීඩා රන් පදක්කම් 42 න් 14ක් දිනාගත්තේද ජයග්‍රාහී බස්නාහිර පළාත විසිනි.

රුපියල් මිලියන 220ක ඇස්තමේන්තුවක් මත පවත්වා අවසන් කළ ක්‍රීඩා උළෙල සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා සිටියත් ක්‍රීඩා අමාත්‍යාංශයට ඒ සඳහා අනුමත වූයේ රුපියල් මිලියන 100කටත් අඩු ගණනක් බව ද වාර්තා වේ.  එහෙත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හා පළාත් ක්‍රීඩා නිලධාරීන්ගේ ඇතැම් කැපවීම් තුළ බාධාවන් රැසක් මැද වුවද ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කිරීමට හැකිවූ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

මෙවර ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මීටර 400 කඩුලු ශූර කේ.ඩී.එම්. දර්ශන (තත්පර 50.59) හා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මීටර 400 ක්‍රීඩිකා නදීෂා රාමනායක (තත්පර 52.80-දකුණ) ශූරතා සම්මාන ලැබූහ



47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත කුසලාන දිනාගත් බස්නාහිර පළාතට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ශූරතා කුසලාන ප්‍රදානය කරන ලදි.


අදහස් (0)

සමස්ත ශූරතාව බස්නාහිර පළාතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.