Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සමස්ත ලංකා පාසල් ක්‍රීඩාව බහිරවයා ගිලගනී

සමස්ත ලංකා පාසල් ක්‍රීඩාව බහිරවයා ගිලගනී

editorial - 2021 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නොනවතින කොවිඩ් වසංගතය හේතුවෙන් දෙවැනි අවුරුද්දටත් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ගොදුරු වී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට තීරණය කර ඇත්තේ ප්‍රමාණවත් කාලයක් ඉතිරිව නොතිබීමෙන් වසර 2021 නියමිත සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අත්හැර දැමීමටය.

කොවිඩ් වසංගතයේ බලපෑමෙන් පසුගිය වසරේ (2020) ක්‍රීඩා උළෙල ද මෙලෙසම අත්හැර දැමීමට සිදුවිය.  අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ සිසුන් පාසලට කැඳවාගත නොහැකි තත්ත්වයක් තුළ පාසල් ක්‍රීඩා තරග ගැන කතා කිරීම ද පල රහිත බවයි.

“දැන් අමාත්‍යාංශයක් හැටියට අපට පළමුව සිතන්න වෙන්නේ සිසුන් පාසලට ගෙන්වා ගන්නේ කොහොම ද කියන එකයි. ක්‍රීඩා තරග ගැන අපට හිතන්න වෙන්නේ දෙවනුවයි.” යයි ද කපිල පෙරේරා මහතා පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ක්‍රියාකාරකම්) දයා බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවැසුවේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල වසර දෙකක්ම පවත්වා ගැනීමට නොහැකි වීමෙන් සිසුන්ට වන ආසාධාරණයට මේ වනවිට පිළියමක් යෝජනා කර තිබෙන බවයි. 

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් ජයග්‍රාහී සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී විශේෂ ලකුණු ක්‍රමයක් ක්‍රියාත්මක වේ. ඒ, වසර තුනක ජයග්‍රහණ සැලකිල්ලට ගනිමිනි.
එහිදී අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇත්තේ ක්‍රීඩා උළෙල මෙම වසර දෙකම නොපැවැත්වීමෙන් සිසු සිසුවියන්ට වන අවාසිය වෙනත් වසර දෙකක සහතිකපත් යොදා ගනිමින් පියවන ලෙසයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශය හදාරා උසස් පෙළ සමත් සිසු සිසුවියන්ගේ ක්‍රීඩා කුසලතා දක්ෂතා සඳහා අමතර ප්‍රසාද ලකුණු ලබාදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර, එහිදී වසර තුනක දක්ෂතා සැලකිල්ලට ගනිමින් එම ප්‍රසාද ලකුණු ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක වේ.

උද්ගත වී තිබෙන වසංගත තත්ත්වය හමුවේ පාසල් ක්‍රීඩා තරග ඇනහිටීම පිළිබඳව දයා බණ්ඩාර මහතා මෙසේ ද පැවැසීය.

“සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නොපැවැත්වීමෙන් මෙම වසරට ඒ සඳහා වෙන් කර තිබෙන ප්‍රතිපාදන නැවත මහා භාණ්ඩාගාරයට යැවීම හෝ ඒවා පාසල් ක්‍රීඩා වෙනත් යටිතල පහසුකම් සඳහා යොදා ගන්නවා ද කියන එක ගැන ඉදිරියේදී තීරණයක් ගන්නවා.  පාසල් ක්‍රීඩා උත්සව දැනට අත්හිටුවා තිබුණත් පාසල් සිසු සිසුවියන්ගේ පුහුණු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අප උපදෙස් දීලා තිබෙනවා. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උත්සවය අත්හිටුවන්න දැනට අප තීරණය කරලා තිබුණත් පාසල් ක්‍රීඩා සංගම් රටේ තත්ත්වය යහපත් අතට හැරුණු අවස්ථාවක ක්‍රීඩා තරගාවලි සංවිධානය කළත් යම් නියාමනයක් යටතේ ඒවා පවත්වන්න අවසර ලබාගන්න හැකි වේවි.”

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා උළෙලයි. මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ඉසව් 19 ක් ඊට අන්තර්ගනය.  කොට්ඨාස, කලාප, පළාත් යන අදියර තුනක තරගවලින් පසුව සමස්ත ලංකා ක්‍රීඩා උළෙල සංවිධානය කෙරේ.

මෙම වසරේදීත් එහිදී මතුව තිබෙන ප්‍රධානතම ගැටලුව වන්නේ එම අදියර තරග කිසිවක් පවත්වා අවසන් කිරීමට මෙතෙක් අවස්ථාවක් නොලැබීය. පාසල් නැවත ආරම්භ කිරීමට දැරූ උත්සාහයේදී අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ක්‍රීඩා තරග පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය ප්‍රධානීන්ගෙන් කළ ලිඛිත ඉල්ලීම්වලට අවසර නොලැබුණු බව ද වාර්තා වේ. කෙසේ වුවත් මෙම වසරේදී සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල වයස 17න් පහළ හා 20න් පහළ සහ බාලක හා බාලිකා කාණ්ඩ දෙක පමණක් යොදා ගනිමින් පැවැත්වීමට දැරූ උත්සාහයට සෞඛ්‍ය ප්‍රධානීන්ගෙන් අනුමැතිය ලැබී නැත.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කරන විට අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සඳහා රුපියල් මිලියන 80කට ආසන්න මුදලක් වැය කෙරේ. දයා බණ්ඩාර මහතා මෙසේ ද පැවැසීය.

“පාසල් ක්‍රීඩා තරගාවලි ගැන මේ අවස්ථාවේ අවධානය යොමු කරන්න බැරි වුණත් පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය අධ්‍යාපන අමාත්‍යාංශය අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යනවා. 
මේ වෙනකොට රටේ අධ්‍යාපන කලාප 99ම ඉලක්ක කරගෙන පාසල්වල ක්‍රීඩා තරග සංවර්ධනය වගේම එම පාසල් සඳහා ක්‍රීඩා උපකරණ බෙදා දීමත් අඛණ්ඩව සිදුකරගෙන යනවා.

එහි විශේෂත්වය වන්නේ ජාතික ක්‍රීඩා පාසල් 30ක යටිතල පහසුකම් සංවර්ධනය අරඹා තිබීමයි. ඊට අලුතින් තවත් ජාතික ක්‍රීඩා පාසල් දෙකක් එකතු කරගෙන තිබෙනවා. ඒ ඉබ්බාගමුව මධ්‍ය මහ විදුහල හා හෝමාගම මහින්ද රාජපක්ෂ මධ්‍ය මහ විදුහලයි.”
පාසල් සිසු සිසුවියන්ගේ ක්‍රීඩා පුහුණු කටයුතු මෙහෙයවීම සඳහා ‘ඔන්ලයින්’ (සූම්) තාක්ෂණය යොදා ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා විසිර සිටින එම අමාත්‍යාංශයෙන් පත්වීම් ලබාගත් ක්‍රීඩා පුහුණුකරුවන් 380 දෙනකුට මේ වනවිට උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පසුගිය අප්‍රේල් මාසයේදී සංවිධානය කළ අන්තර් පාසල් ක්‍රිකට් තරග මාලාව මෙම වසරේදී සාර්ථකව පවත්වා අවසන් කළ එකම පාසල් ක්‍රීඩා තරගාවලියක් ලෙස සැලකිය හැකිය. 


අදහස් (0)

සමස්ත ලංකා පාසල් ක්‍රීඩාව බහිරවයා ගිලගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.