Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකා සහාය දිවීමේ පිල ලෝක තරගාවලියට

ශ්‍රී ලංකා සහාය දිවීමේ පිල ලෝක තරගාවලියට

editorial - 2023 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

හංගේරියාවේ ‘බුඩාපේස්ට්’ නුවර දී අගෝස්තු 19 වැනිදා ආරම්භ වන 19 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 4x400 (පිරිමි) ඉසව්ව සඳහා වසර 10 කට පසුව ශ්‍රී ලංකාව නිර්දේශ තහවුරු කර ගැනීමට අද (31) සමත් විය.

ලබන අගෝස්තු 27 වැනිදා දක්වා බුඩාපේස්ට් ලෝක මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමේ දී සහභාගී වන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉසව් සඳහා නිර්දේශකර ගැනීම අද අවසන් විය.

ශ්‍රී ලංකා මීටර 4x400 (පිරිමි) සහය දිවීමේ කණ්ඩායම තායිලන්තයේ ‘පතායා’ නුවර දී පැවැති 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී විනාඩි 3 තත්පර 01.56 කට නව වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත්තේ ඉන්දීය කණ්ඩායම දෙවැනි තැනට (විනාඩි 3 තත්පර 01.80) පත් කරමිනි.

මෙම දක්ෂතාව හමුවේ ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 12 වැනි ස්ථානයට පත්වීමට සමත් විය. බුඩාපේස්ට් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 4x400 (පිරිමි) සහය දිවීම ඉසව්ව සඳහා අද වන විට හොඳම නිමි කාලයන් වාර්තා කර සිටි කණ්ඩායම් 16 ක් අනුපිළිවෙලට අනුව නිර්දේශය කර ගැණුනි.

අනුර දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකූ හා කාලිංග කුමාරගේ යන ක්‍රීඩකයෝ සිවු දෙනා ආසියානු ශූරතා රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත් වූහ. බුඩාපේස්ට් ලෝක ශූරතා තරගාවලියට අතිරේක ක්‍රීඩක පසිදු කොඩිකාර හැරෙන්නට මෙම ක්‍රීඩකයන් සිවු දෙනාම තරග වදිනු ඇත.

කෙසේ වුවත් ලෝක ශූරතා තරගාවලිය ඉලක්ක කර ගනිමින් කාලය ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ආසියානු ශූරතා තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා හා ඉන්දීය සහාය දිවීමේ කණ්ඩායම් සුගතදාස පිටියේ දී ඊයේ (30) නිමාවට පත්වූ 101 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී යළිත් තරග වැදුණි.

එහෙත් කණ්ඩායම් දෙකම දක්ෂතා ප්‍රවර්ධනය කර ගැනීමට සුගතදාස ධාවන පථයේ දී අපොහොසත් වූ අතර ආසියානු ශූරතා රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම එහිදී දෙවැනි තැනට (විනාඩි 3 තත්පර 02.69) පත් කරමින් ඉන්දීය කණ්ඩායම විනාඩි 3 තත්පර 02.02 කට එහිදී ඉසව්ව ජය ගත්තේය.

බුඩාපේස්ට් ලෝක මලල ක්‍රීඩා තරගාවලියට මීටර් 4x400 (පිරිමි) කණ්ඩායම හැරෙන්නට ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් නිර්දේශ ලබා සිටියි.

මේ අතර හෙල්ල විසිකිරීම (කාන්තා) ඉසව්වෙන් ආසියානු ශූරතා ලෝකඩ පදක්කම ලද නදීෂා දිල්හානි ලේකම්ගේ (මීටර් 60.93) හා මීටර් 1500 (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කමත් (විනාඩි 4 තත්පර 14.39) ලද ගයන්තිකා අබේරත්න ද බුඩාපේස්ට් ලෝක ශූරතා තරගාවලියට නිර්දේශ ලබා ගැනීම කෙරෙහි වඩාත් විශ්වාසයෙන් පසු වූහ.

මීටර් 1500 (කාන්තා) ඉසව්වේ බුඩාපේස්ට් ලෝක ශූරතා අවම සුදුසුකම වූයේ විනාඩි 4 තත්පර 2.50කි. එය හෙල්ල විසිකිරීම (කාන්තා) ඉසව්ව මීටර් 64.00 කි.


අදහස් (0)

ශ්‍රී ලංකා සහාය දිවීමේ පිල ලෝක තරගාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.