Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics විස්ස සහාය ධාවනයෙන් ශ්‍රී ලංකාවට හත

විස්ස සහාය ධාවනයෙන් ශ්‍රී ලංකාවට හත

editorial - 2021 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කෙන්යාවේ නයිරෝබි නුවරදී අද (18) ආරම්භ වූ ලෝක ශූරතා මලල ක්‍රීඩා කනිෂ්ඨ තරගාවලියේ මීටර් 4x400 මීශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේදී දස්කම් වඩාත් පහළට කඩා වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී විනාඩි 3 තත්පර 26.39කට හත්වැනි ස්ථානය ලැබීය.

මෙහි වැදගත්කම වන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදී මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වකට තරග වැදුණු පළමු අවස්ථාව එය වීමයි. මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එහි අවසන් තරගයට නිර්දේශ ලබාගත්තේ විනාඩි 3 තත්පර 26.62කටය. කෙසේ වුවත් නයිජීරියානු කණ්ඩායම අද (18) මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ විනාඩි 3 තත්පර 19.70කට නව තරග වාර්තාවක් පිහිටුවමිනි.

පෝලන්ත කණ්ඩායම මෙහි රිදී පදක්කම විනාඩි 3 තත්පර 19.80කට තහවුරු කරගන්නා අතර, විශේෂ සිදුවීමක් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මලල ක්‍රීඩා ප්‍රතිවාදියා වන ඉන්දියාව විනාඩි 3 තත්පර 20.60කට එහි ලෝකඩ පදක්කම දිනාගැනීමයි.

මෙහිදී ශ්‍රී ලංකාව මෙත් ජනරජයේ කණ්ඩායමට පමණක් ඉදිරියෙන් පසු වූ අතර, ශ්‍රී ලංකාව මෙම ඉසව්වේ හොඳම නිමි කාලය වාර්තා කරන අතර, හයවැනි ස්ථානය තෙක් පැමිණි සෙසු සියලු රටවල කණ්ඩායම් තරගය නිමා කළේ මෙම තරග සටනේ හොඳම දක්ෂතාව වාර්තා කරමිනි.

ඩිල්ෂාන් බණ්ඩාර, තරුෂි කරුණාරත්න, සයුරි ලක්ෂ්මා මෙන්ඩිස් හා ඉසුරු කෞෂල්‍ය අබේවර්ධන යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහිදී පිළිවෙළින් ශ්‍රී ලංකා සහාය දිවීමේ අදියර හතරේ ධාවනයේ නිරත වූහ.

මේ අතර, ශ්‍රී ලංකා මීටර් 100 ක්‍රීඩිකා මේධානි ජයමාන්න තත්පර 12.01ක දක්ෂතාවක් මුල් වටයේදී පළ කරමින් එහි අවසන් පූර්ව තරගයට යන්තමින් නිර්දේශ ලබාගත්තාය. එහෙත් අද රාත්‍රියේ පැවැති එම අවසන් පූර්ව වටයේදී ඇගේ දක්ෂතා තත්පර 11.96ක් දක්වා අවම වීමෙන් එහි අවසන් තරගයට ප්‍රවේශ වීමට ඇය අසමත් වූවාය.

මෙම ඉසව්වේ ඇගේ හොඳම දක්ෂතාව තත්පර 11.85ක් ලෙස වාර්තා වූයේ පසුගිය ජුනි මාසයේ කොළඹ පැවැති තේරීම් තරගාවලියේදීය. එම දක්ෂතාව ඇයට මෙවර ලෝක ශූරතා නිර්දේශයට ප්‍රමාණවත් වූවාය.

මීටර් 100 (කාන්තා) ඉසව්වේ අවසන් පූර්ව වටය නිමා වනවිට මේධානි ක්‍රීඩිකාවන් 24 දෙනා අතර පසු වූයේ 21 වැනි ස්ථානයේය. ජැමෙයිකාවේ ටීනා ක්ලේටන් වාර්තා කළ තත්පර 11.34 අවසන් පූර්ව වටය දක්වා පැමිණි ක්‍රීඩිකාවන් අතරේ හොඳම දක්ෂතාව ලෙස අද (18) වාර්තා විය.

මේ අතර, හෙට (19) මීටර් 800 (කාන්තා) ඉසව්වේ මූලික තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශනිකා ලක්ෂාණි හා තරුණි කරුණාරත්න තරග වැදීමට නියමිතය. මෙම ලෝක ශූරතා කනිෂ්ඨ තරගාවලිය වයස 20න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදියි.

මේධානි ජයමාන්න අනිද්දා (20) මීටර් 200 (කාන්තා) ඉසව්වේ මූලික වටයට සහභාගි වීමට නියමිතය. ජුලි 27 වැනිදා ඉන්දියාවේ පතියාලා නුවරදී ඇය ඉන්දීය අන්තර් ප්‍රාන්ත තරගාවලියට සහභාගි වෙමින් මෙම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තේ තත්පර 24.08කටය.


අදහස් (0)

විස්ස සහාය ධාවනයෙන් ශ්‍රී ලංකාවට හත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.