Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics වසර 18 කට පසු මීටර 400 න් ලෝක ශූරතා ධාවන පථයට

වසර 18 කට පසු මීටර 400 න් ලෝක ශූරතා ධාවන පථයට

editorial - 2023 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

වසර 18 කට පසුව ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මීටර 400 (පිරිමි) ඉසව්වට තරග වැදීමට නිර්දේශ ලබා සිටියි. හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී හෙට (19) ආරම්භ වන 19 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක අරුණ දර්ශන මීටර 400 (පිරිමි) ඉසව්වේ මූලික වටයට සහභාගිවීමට නියමිතව ඇත්තේ අනිද්දා (20) දිනයේදීය.

හංගේරියාවේ වේලාවෙන් පෙරවරු 10.25 ට මෙම ඉසව්වේ මූලික වටයේ තරග ආරම්භවේ. එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.25 ටය. මෙම ඉසව්වේ අවසන්  පූර්ව තරග අඟහරුවාදා (22) පැවැත්වේ. බ්‍රහස්පතින්දා (24) මෙහි අවසන් තරගය පැවැත්වීමට නියමිතය.

වසර 2005 හෙල්සින්කි ලෝක ශූරතා තරගාවලියේදී අවසන් වරට ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මීටර 400 (පිරිමි) ඉසව්වට සහභාගි වී තිබේ. ඔහු ප්‍රසන්න අමරසේකරය.

හෙට තරග වදින 24 හැවිරිදි අරුණ දර්ශන බුඩාපේස්ට් ලෝක ශූරතා තරගාවලියට මීටර 400 (පිරිමි) ඉසව්වෙන් නිර්දේශ තහවුරු කර ගැනීමේදී 52 වැනි ස්ථානයේ පසුවිය. කෙසේ වුවත් බුඩාපේස්ට්  තරගාවලියට ඒ සඳහා නිර්දේශ ලැබුවේ 48 දෙනකු පමණි. එහෙත්  ක්‍රීඩකයන් කිපදෙනකු  ඉවත්වීමෙන් පසුව අරුණ දර්ශනට 48 දෙනා අතරට පිවිසීමට අවස්ථාව සැලසීමෙන් ඔහු බුඩාපේස්ට් ලෝක ශූරතාවලියේ මීටර් 400 (පිරිමි) කේවල ඉසව්වට ඇතුළත් විය.

කෙසේවුවත් මීටර් 400 x 4 (පිරිමි) ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම මෙවර ලෝක ශූරතාවලියට නිර්දේශ ලබා සිටි බැවින් බුඩාපේස්ට් තරග සංචාරයට ඔහු මෙම ඉසව්ව නොමැතිවද ඇතුළත්ව සිටියේය.

මීටර 400 (පිරිමි) ඉසව්වේ අරුණ දර්ශනගේ මෙතෙක් හොඳම තරග නිමි කාලය තත්පර 45.45 කි. තත්පර 46 ට අඩුවෙන් මෙතෙක් ඉසව්ව නිමාකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනා අතරේ අරුණ දර්ශනද සිටී .

ඉකුත්දා ‘බැංකොක්’ නුවරදී නිමාවට පත්වූ 24 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී අරුණගේ දක්ෂතා තත්පර 45.69 කට සීමාවීමෙන් පසු කේවල පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාවක් නොවීය.

කෙසේවුවත් අවසන් වරට 2019 කත්මණ්ඩු නුවරදී 13 වැනි සාෆ් ක්‍රීඩා උළෙලේ මීටර 400 (පිරිමි) ඉසව්වේ (තත්පර 46.69) රන් පදක්කම් ලාභියාද වන අරුණ පැවැති ආසියානු ශූරතා තරගාවලියේ රන් පදක්කම දිනූ මීටර 4x400 (පිරිමි) ඉසව්වේ හා රිදී පදක්කම දිනූ ශ්‍රී ලංකා මිශ්‍ර සහයදිවීමේ කණ්ඩායමෙහි සාමාජිකයකු විය.

බුඩාපේස්ට් ලෝක ශූරතා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දකුණු ආසියාවේ දෙවැනි විශාලතම කණ්ඩායමයි. එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන අටකි.

ඉන්දියාවේ එම ගණන 28 කි. කලාපයේ සෙසු රටවල් වන නේපාලය, බංග්ලාදේශය, පාකිස්ථානය,  මාලදිවයින යන රටවලින් එක් ක්‍රීඩකයකු බැගින් පමණක් මෙවර ලෝක ශූරතා තරගාවලියට නිර්දේශ වී සිටියි. භූතානයෙන් කිසිදු ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවකට අවස්ථාවක් නැත.

බුඩාපේස්ට් ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියට වැඩිම සහභාගිත්වය ඇමරිකාවෙනි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 128 දෙනකුගේ කණ්ඩායමක් මෙවර ලෝක ශූරතා තරගාවලියට ඇමරිකාව සහභාගී කර සිටියි.

 


අදහස් (0)

වසර 18 කට පසු මීටර 400 න් ලෝක ශූරතා ධාවන පථයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.