Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics වත්තල ලයිසියම් සටනක් නැතිව දිනයි

වත්තල ලයිසියම් සටනක් නැතිව දිනයි

editorial - 2023 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල රන් පදක්කම් 44ක් හිමිකර ගනිමින් කොළඹ සුගතදාස පිටියේ දී ඊයේ (26) නිමාවට පත්වූ 21 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ජය ගත්තේය. ඔවුන් මෙවරත් සමස්ත ශූරතාව දිනා ගැනීමේ දී කැපී පෙනෙන්නේ තරගාවලිය පැවැති 13 වැනි වතාවක්ම වැඩිම රන් පදක්කම් දිනාගත් ජාත්‍යන්තර පාසල බවට ද පත්ව තිබීමයි.

මෙවර වත්තල ලයිසියම් රිදී පදක්කම් 35ක් හා ලෝකඩ පදක්කම් 20ක් ද හිමිකර ගැනීමේ දී ඔවුන්ට පදක්කම් ශතකයක් කරා යාමට තව අඩු වූයේ එක් පදක්කමක් (99) පමණි.

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල මෙවර තරගාවලියේ අනුශූරතාව හිමිකරගත්තේ රන් පදක්කම් 22 ක් දිනා ගනිමිනි. මෙම දෙවිදුහල මුළු රන් පදක්කම් ගොන්නෙන් බහුතරයක් ලබා ගනිද්දී පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල තරගාවලියේ තෙවැනි තැන ගත්තේ රන් පදක්කම් නවයක් දිනා ගනිමිනි.

මෙම දින දෙකේ දී ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිහිටු වූ නව වාර්තා ගණන 41ක් තරම් ඉහළ අගයක් ගත්තේය. බාලක හා බාලිකා මලල ක්‍රීඩා ඉසව් 104ක් වයස් කාණ්ඩ කීපයක් යටතේ මෙම දින දෙකේ දී පැවැත්වීමේ දී තරගාවලියට මෙවර සහභාගි වූ ජාත්‍යන්තර පාසල් 24ක් අතර බෙදී ගිය රන්, රිදී හා ලෝකඩ පදක්කම් ගණන 312කි.
සමස්ත ශූරතාව දිනූ වත්තල ලයිසියම් ජාත්තර පාසල මේ වනවිට ජාත්‍යන්තර පාසල් තරග බිමෙන් ඉදිරියට පැමිණෙමින් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ (2022) සමස්ත බාලක ශූරතාව හා බාලිකා අනුශූරතාව ද හිමිකර ගැනීමට සමත්ව සිටීම තවත් කැපී පෙනෙන සිදුවීමකි.

අභියෝග ශූරතා 19ක් මෙම මලල ක්‍රීඩා තරගාවලියේ දී ප්‍රදානය කෙරුණි. එහිදී වටිනාම සම්මානය වන බාලක හා බාලිකා ඉසව් දෙකාණ්ඩයේම දක්ෂතා තක්සේරු කරමින් ප්‍රදානය කෙරෙන ආර්.අයි.ටී. අලස් අභියෝග ශූරතා කුසලාන දිනා ගත්තේ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ වයස 20න් පහළ (බාලිකා) කාණ්ඩයෙන් මීටර 200 ඉසව්වට තරග වැදුණු දිනාරා බණ්ඩාර ඩෙලාය.

මෙම ක්‍රීඩිකාව එහිදී පළ කළ තත්පර 24.87ක් වන දක්ෂතාව ඇයට තරාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට පිදෙන ‘මන්චි හා ලයිසියම්’ අභියෝග ශූරතා කුසලාන දිනා ගැනීමටත් ප්‍රමාණවත් විය.

මේ අතර 21 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි වන ‘මන්චි හා ලයිසියම්’ අභියෝග ශූරතා (බාලක) කුසලාන දිනා ගත්තේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ රස්වින් කරිම් ය.

ඔහුගේ දක්ෂතාවය දුර පැනීම වයස 20න් පහළ (බාලක) ඉසව්වෙන් වාර්තා වූයේ මීටර 6.91ක් පරිදිය. ඇලතියා, බෙල්වොයිර්, බුහානි සෙරන්ඩිබ්, ඉල්මා, කොළඹ-මහනුවර ශාඛාව සහ ජාත්‍යන්තර පාසල් පහක් කිසිදු පදක්කමක් දිනා ගැනීමට මෙහිදී සමත් නොවූහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)


අදහස් (0)

වත්තල ලයිසියම් සටනක් නැතිව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.