Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ලකුණු නැති මන්නාරම - මුලතිව් පතුලටම

ලකුණු නැති මන්නාරම - මුලතිව් පතුලටම

editorial - 2023 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ගම්පහ දිස්ත්‍රික්කයට අට වැනි වතාවටත් සමස්ත ශූරතා කුසලාන හිමිකර දෙමින් ඊයේ (19) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ 34 වැනි යොවුන් ජාතික ක්‍රීඩා උළෙලේදී මන්නාරම හා මුලතිව් යන දිස්ත්‍රික්ක දෙක කිසිදු ලකුණක් රැස්කර ගැනීමට අපොහොසත් විය.

මෙම ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් වයස 20න් පහළ හා 20න් ඉහළ පරිදි කාණ්ඩ දෙකකින් පැවැත්වීම විශේෂත්වයකි. ඒ අනුව මෙම දිස්ත්‍රික්ක දෙක ක්‍රීඩා උළෙලේ 25 සහ 26 යන අවසන් ස්ථාන දෙකට පත්වන අතර වවුනියාව දිස්ත්‍රික්කය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ලකුණු 3ක් බැගින් රැස් කරමින් ක්‍රීඩා උළෙලේ 23 හා 24 වැනි ස්ථානවලට මෙවර පත් විය. මෙම ලකුණු ඔවුන් කණ්ඩායම් ක්‍රීඩා ඉසව්වලදී රැස්කර ඇත.

කෙසේ වුවත් යාපනය හැරෙන්නට උතුරු පළාත නියෝජනය කරන මෙම බහුතරයක් දිස්ත්‍රික්ක යොවුන් ක්‍රීඩා උළෙලේදී රින අගයට පත්වීම සත්කාරක ජාතික තරුණ සේවා සභාවේ අවධානයට යොමුවිය යුතු බව ක්‍රීඩා විචාරකයෝ පවසති.

ඊයේ නිමාවට පත්වූ 34 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේදී ගම්පහ දිස්ත්‍රික්කය ලකුණු 166 ක් ද කොළඹ දිස්ත්‍රික්කය ලකුණු 96ක් ද හා නාගරික තරුණයා කලාපය ලකුණු 77ක් ද ලබා එහි සමස්ත ශූරතාව, සමස්ත අනුශූරතාව හා සමස්ත තෙවැනි ස්ථානය ලබා ඒ සඳහා හිමි මුදල් ත්‍යාග දිනාගත්තේය.

එහිදී මොනරාගල දිස්ත්‍රික්කයට වයස 20න් පහළ කිසිදු මලල ක්‍රීඩා ලකුණක් හිමි නොවූවත් ඔවුහු වයස 20න් ඉහළ කාණ්ඩයේ හා කණ්ඩායම් ක්‍රීඩා ඉසව්වලින් ලකුණු ලබා ක්‍රීඩා උළෙලේ 18 වෙනි ස්ථානය ලැබූහ.

ජාතික තරුණ සේවා සභාව ජාතික යෞවන සමාජ සම්මේලනය හා අත්වැල් බැඳගනිමින් මෙවරත් ක්‍රීඩා උළෙල සංවිධානය කළේය. ඒ පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) අනිල් සිරිවර්ධන මහතා පැවසුවේ මෙවර ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතා ඊට සහභාගිවෙමින් සිව් දිනක් පුරා කොළඹ රැඳී සිටි යෞවන සමාජ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට උපරිම අයුරින් පහසුකම් සැලසීමට පියවර ගත් බවයි.

රාජ්‍ය අනුග්‍රහයෙන් වසරේ පැවැත්වෙන දෙවැනි ප්‍රධානතම ක්‍රීඩා උළෙල ලෙස රට තුළ කොවිඩ් වසංගත තත්ත්වයන් පැන නැගී තිබුණු වසර කීපය ද ඇතුළත්ව එය අඛණ්ඩව පවත්වා අවසන් කිරීමට ජාතික තරුණ සේවා සභාව සමත්ව තිබේ.


34 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ දිස්ත්‍රික්ක හා කලාප ලබාගත් ලකුණු අගයන් හා
ක්‍රීඩා උළෙලේදී අත්කර ගත් ස්ථාන:-

1 ගම්පහ (166),2 කොළඹ (96), 3 නාගරික තරුණයා (77), 4 කුරුණෑගල (68), 5 ගාල්ල (55), 6 මහනුවර (53), 7 රත්නපුරය (53), 8 පුත්තලම (46), 9 යාපනය (45), 10 මාතර (42), 11 බදුල්ල (39), 12 කෑගල්ල (38), 13 මාතලේ (32), 14 කළුතර (31), 15 අම්පාර (28), 16 හම්බන්තොට (25), 17 අනුරාධපුරය (24), 18 මොනරාගල (21), 19 පොලොන්නරුව (16), 20 මඩකලපුව (14), 21 නුවරඑළිය (11), 22 ත්‍රිකුණාමලය (11), 23 කිලිනොච්චිය (3), 24 වවුනියාව (3), 25 මන්නාරම (0), 26 මුලතිව් (0).

 

රුපියල් 250000න් බැගින් ත්‍යාග මුදල් දිනාගත් ක්‍රීඩා උළෙලේ දක්ෂතම (මලල) ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනා අයෝමාල් අකලංක, ඔෂිනි කොඩිකාර (වයස 20න් පහළ කාණ්ඩය) හා අයි.ජී.ජේ. ලක්විජය හා බී.එස්. ලක්ෂිමා (වයස 20න් ඉහළ කාණ්ඩය) ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතා සමග... 


අදහස් (0)

ලකුණු නැති මන්නාරම - මුලතිව් පතුලටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.