Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යුපුන් ලෝක ශූරතාවලියටත් යන්න බෑ කියයි

යුපුන් ලෝක ශූරතාවලියටත් යන්න බෑ කියයි

editorial - 2023 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(නාමල්  පතිරගේ)

පාදයක පවතින මස් පිඩු ආබාධය මෙතෙක් සුව අතට හැරි නැති බැවින් අගෝස්තු 19 වැනිදා හංගේරියාවේ ‘බුඩාපෙස්ට්’ නුවර දී ආරම්භ වන 19 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට තමන් සහභාගි නොවන බව ඉතාලියේ පුහුණුවීම් කරමින් කල් ගෙවන  ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු ඉකුත්දා ‘තායිලන්තයේ’ පතායා’ නුවර දී නිමාවට පත්වූ 24 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ද සහභාගි නොවීය.

කෙසේ වුවත් ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට අවධාරණය කර ඇත්තේ ලබන සැප්තැම්බර් 29  වැනිදා සිට ඔක්තෝබර් 5 වැනිදා දක්වා චීනයේ හන්ජෝ නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට තමන් ස්ථිර වශයෙන්ම සහභාගි වන බවයි.

බුඩාපෙස්ට් නුවර දී අගෝස්තු 27 වැනිදා දක්වා පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ ඉසව් නිර්දේශ ලබාගැනීම සඳහා ලොව පුරා රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදී තිබූ කාලය පෙරේදා (31) අවසන් විය. ඒ වනවිට කේවල ඉසව්වකින් ශ්‍රී ලංකාවෙන් නිර්දේශ  තහවුරු කරගෙන සිටි එකම ක්‍රීඩකයා වූයේ යුපුන් අබේකෝන්ය.

වසර 2022 ජුලි 3 වැනිදා ‘සුරිච්’ නුවරදී පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දී තත්පර 9.96කට මීටර 100 (පිරිමි) ඉසව්ව ජය ගැනීමෙන් ඔහු දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා විමෙන් පමණක් නොනැවතී ‘බුඩාපෙස්ට්’ ලෝක  තරගාවලියට සුදුසුකම් ලේඛනයෙන් නිර්දේශ ලබා ගැනීමට සමත් විය. එයින් පසුව ඔහු හොඳම ඊළඟ දක්ෂතාවය තත්පර 10.06ක් ලෙස ජර්මනියේ දී ප්‍රදර්ශනය කර සිටියේය.

‘බුඩාපෙස්ට්’ ලෝක ශූරතාවලියේදී මීටර් 100 (පිරිමි) ඉසව්වට නිර්දේශ කර ගන්නා ක්‍රීඩකයන්ගේ මුළු එකතුව 56කි. ඊයේ (1) වනවිට යුපුන් අබේකෝන් එම ලේඛනයේ 42 වැනි ස්ථානයේ පසුවිය. මෙවර ලෝක ශූරතා තරගාවලියේ මීටර 100 (පිරිමි) ඉසව්වේ අවම සුදුසුකම තත්පර 10.00කි. එහි කාන්තා ඉසව්වේ ක්‍රීඩිකාවකගේ අවම සුදුසුකම තත්පර 11.07කි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී බර්මින්හැම් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී යුපුන් අබේකෝන්  මීටර 100 (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම තත්ත්පර 10.14කට හිමිකර ගත්තේය. ඉතාලි ජාතික පුහුණුකරු ක්ලෝඩියෝ ලිකියාඩෙලෝ මහතා යටතේ ඉතාලියේ පුහුණුවීම් හදාරන යුපුන් අබේකෝන් ගේ ක්‍රීඩා දිවියේ ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඩොලර් ලක්ෂයක මුදලක් ප්‍රදානය කර තිබේ.

වසර 2022 ජුලි මාසයේ ඇමරිකාවේ ඉවුජින් නුවරදී පැවති 18 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වූ මෙරට එකම තරගකරුවාද වූ යුපුන් එහිදී මීටර 100 (පිරිමි) ඉසව්වේ තරග වැදී මූලික වටයෙන්ම (තත්පර 10.19) පරාජයට පත්විය.

බුඩාපෙස්ට් ලෝක තරගාවලියට ඊයේ වනවිට ශ්‍රී ලංකා මීටර 400x4 (පිරිමි)  සහය දිවීමේ කණ්ඩායම නිර්දේශ ලබා සිටින අතර මීටර 800 (කාන්තා) ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න හා හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වෙන් නදීෂා දිල්හානි ලේකම්ගේට ද තරගාවලිය සඳහා නිර්දේශ ලැබීමේ ඉහළම අවස්ථාවක් පසුවෙමින් සිටින බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි. කෙසේ වුවත් හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්ව ඇතුළුව පිටියේ ඉසව් සඳහා ලෝක ශූරතා  තරගාවලියට නිර්දේශ තහවුරු කළ හැක්කේ ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන්  32 දෙනෙකුට බැගින් පමණි.

ගයන්තිකා අබේරත්න පසුගිය ලෝක ශූරතාවලියටද සහභාගිවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකි.


අදහස් (0)

යුපුන් ලෝක ශූරතාවලියටත් යන්න බෑ කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.