Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මීටර 400 තත්ත්පර 46 ට අඩුවෙන් නිමකළ හය දෙනෙක්

මීටර 400 තත්ත්පර 46 ට අඩුවෙන් නිමකළ හය දෙනෙක්

editorial - 2023 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පැය 24ක කාලයක් ඉක්මවීමට මත්තෙන් පාසල් ශිෂ්‍ය ජනිඳු ලක්විජය මීටර 110 කඩුලු ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාව දෙවතාවක්ම අළුත් කිරීමට සමත් විය. ඒ අතර මීටර 400 (පිරිමි) ඉසව්වෙන් මෙතෙක් සිය හොඳම කාලය වාර්තා කරමින් කාලිංග කුමාරගේ තත්ත්පර 45.07කට එහි නව තරග වාර්තාවට හිමිකම් කීවේ වසර 2000දී රොහාන් ප්‍රදීප් කුමාර විසින් තත්පර 45.25කට පිහිටුවා තිබූ එහි පැරණි වාර්තාව බිඳ දමමිනි.

ඉන්දියාව හා මාලදිවයිනේ ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වූ 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (30) නිමාවට පත්වූයේ නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් ජාතික මලල ක්‍රීඩා වාර්තා පොතට එක්වීමෙනි.

කඩුලු පැනීමේ ක්‍රීඩක ජනිඳු ලක්විජය පෙරේදා (29)  මීටර 110 කඩුලු මූලික වටයේදී තත්පර 13.77 කට ඔහු විසින්ම පසුගිය මාර්තු 20 වැනිදා දියගම ධාවන පථයේදී පිහිටුවා තිබූ ඉසව්වේ ශ්‍රී ලංකා (ජාතික) වාර්තාව බිඳ දමමිනි.  එහිදී ජනිඳු ලක්විජය ඉන් නොනැවතී ඊයේ පෙරවරුවේ පැවැති මීටර 110 කඩුලු ඉසව්වේ අවසන් තරගය තත්පර 13.72කට ජය ගන්නා විට ඔහු අතින්ම නැවත එහි ශ්‍රී ලංකා වාර්තාව අළුත් වී තිබුණි.

මෙවර ජාතික තරගාවලියේදී මීටර 400 (පිරිමි) ඉසව්වේ කැපී පෙනන ප්‍රවර්ධනයක් දක්නට ලැබුණි. මෙහි වසර 23ක් පැරණි තරග වාර්තාව තත්පර 45.07කට කාලිංග කුමාරගේ වෙතින් බිඳ වැටෙන අතර අරුණ දර්ශන පළමු වතාවට කාලිංග කුමාරගේ හමුවේ තත්පර 45.45 කට පරාජය වීම කැප පෙනුණි.

එහෙත් ඉසව්වේ දෙවැනි තැනට පත් අනුර දර්ශන මෙතෙක් ඉසව්වේ සිය හොඳම කාලය වාර්තා කර තිබුණි. ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට කවදත් හිතකර මෙම මැදිදුර ඉසව්වේ මේ වනවිට තත්පර 46ට අඩුවෙන් එය නිමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව මෙවර ජාතික තරගාවලියේ එයින් පළමු දක්ෂතා හමුවේ හය දෙනකු දක්වා ඉහළ ගොස් තිබුණි.

ඔවුන් වන්නේ අනුපිළිවෙලින් සුගත් තිලකරත්න (තත්පර 44.61  - 1998), කාලිංග කුමාරගේ (45.07 – 2023), රොහාන් ප්‍රදීප් කුමාර (45.25 – 2000), අරුණ දර්ශන (45.45 – 2023), ප්‍රසන්න අමරසේකර (45.47 – 2005), රාජිත රාජකරුණා  (45.98 - 2023)

මෙවර ජාතික තරගාවලියේ මීටර 100 (කාන්තා) ඉසව්ව තත්පර 11.89 කට ජයගත් රුමේෂිකා රත්නායක වසර කීපයකට පසුව යළිත් වේගවත්ම කාන්තාව බවට පෙරේදා (29) පත්වූවාය.

මේ අතර පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර 60.93 කට ලෝකඩ පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ ජාතික තරගාවලියේදී ඉසව්ව ජය ගත්තත් ඇගේ දක්ෂතා මීටර 58.56කට සීමා වූවාය. කෙසේ වුවත් මෙම තරගාවලිය අද නිමාවන විට එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල (2023-චීනය) හා ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ (2023- බුඩාපේස්ට්) නිර්දේශ කඩඉම් කරා ළඟාවීමට කිසිඳු ක්‍රීඩක ක්‍රීඩිකාවක් සමත් නොවීම කැපී පෙනුණි.


අදහස් (0)

මීටර 400 තත්ත්පර 46 ට අඩුවෙන් නිමකළ හය දෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.