Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩාවට කෝටියක්

මලල ක්‍රීඩාවට කෝටියක්

editorial - 2023 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රුපියල් කෝටියකට වැඩි මුදලක් (මිලියන 10.25) ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය හා ආසියානු ශූරතා පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රදානය කරමින් ‘දම්රෝ’ ආයතනය මෙරටට මලල ක්‍රීඩාවේ නිල අනුග්‍රාහකයා බවට පෙරේදා (31) සිට පත්විය.

ඒ නිමිත්තෙන් බම්බලපිටිය ‘මරිනා බීච්’ හෝටලයේදී පැවැති උත්සවයේදී අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු හා දම්රෝ ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නාලක ගුණතිලක මහතා අතර සිදු කෙරුණි.

තායිලන්තයේ ‘පතායා’ නුවර දී නිමාවට පත්වූ 24 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා එහි සිවුවැනි ස්ථානයට පත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පදක්කම්ලාභීන් බවට පත්වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට (16 දෙනකුට) රුපියල් ලක්ෂ 52ක් බෙදාදීම ද ආරාධිත අමුත්තන් අතින් සිදු කෙරුණි.

එහිදී මීටර 4x400 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් පස්දෙනාට රුපියල් ලක්ෂ 15ක් වන වැඩිම ත්‍යාග මුදල ප්‍රදානය කෙරුණි.

දම්රෝ ආයතනය ප්‍රදානය කෙරුණු මුදල් ප්‍රදානයෙන් ලක්ෂ පනහක මුදලක් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ ඉදිරි ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනේ.

 මෙම උත්සවය ඇමතූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවැසුවේ අනුග්‍රාහකයන් රටේ පවතින ආර්ථික කඩා වැටීම හමුවේ ක්‍රීඩාව හැර යන මොහොතක ‘දම්රෝ’ ආයතනයේ ඉදිරිපත් වීම මෙරට සමස්ත ක්‍රීඩාවටම කළ දිරිගැන්වීමක් වූ බවයි.

රටේ දූ දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනයට හා දිරිගැන්වීමට ‘දම්රෝ’ ආයතනය තවදුරටත් කැපවෙන බව උත්සව සභාව අමතමින් අනුග්‍රාහක ‘දම්රෝ’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නාලක ගුණතිලක මහතා පැවැසීය.


අදහස් (0)

මලල ක්‍රීඩාවට කෝටියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.