Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මංතීරු නීතිය කඩකළ ශ්‍රී ලංකාවට රිදී පදක්කම අහිමිවෙයි
ආසියානු ක්‍රීඩා

මංතීරු නීතිය කඩකළ ශ්‍රී ලංකාවට රිදී පදක්කම අහිමිවෙයි

editorial - 2023 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ ‘හංජෝ’ නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව අද (2 වැනිදා) දිනා ගත් මීටර් 4x400 (මිශ්‍ර) සහාය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම මංතීරු උල්ලංඝනය කිරීමේ වරදට හසු වීමෙන් අහිමි විය.

එය වසර 17කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලකදී හිමි වීමට තිබූ මලල ක්‍රීඩා පදක්කමක් අහිමි වීමටත් හේතු විය. මෙම ඉසව්ව අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.10ට පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහක සහාය දීවීමේ කණ්ඩායම් සහභාගි විය.

තරගය අවසන් කරන විට බහරේන් කණ්ඩායම විනාඩි 3යි තත්පර 14.02කට එහි රන් පදක්කම දිනා ගන්නා විට, ශ්‍රී ලංකාව විනාඩි 3යි තත්පර 14.25කට දෙවැනි ස්ථානයට තරගය අවසන් කිරීමට සමත් විය.

එහිදී ඉන්දියාව විනාඩි 3යි තත්පර 14.34කට තෙවැනි ස්ථානයට පත්ව තිබුණි. කෙසේ වුවත්, වී.ආර්. 17.3.1 තරග නීතිය උල්ලංඝනය කිරීමේ වරදට හසු වූ ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම තරගයෙන් ඉවත් කිරීමට ගත් තීරණයත් සමග ඉන්දියාවට ඉසව්වේ රිදී පදක්කමත්, කසකස්ථානයට (3.24.85) එහි ලෝකඩ පදක්කමත් හිමි විය.

ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා කණ්ඩායම අරුණ දර්ශන, නදීෂා රාමනායක, කාලිංග කුමාරගේ හා තරුෂි කරුණාරත්නගෙන් සමන්විත විය.

මෙම මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම විසින්ම තායිලන්තයේදී පැවැති 2023 ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී මෙම ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 3යි තත්පර 15.71) දිනා ගත්තේය.

මෙම අවාසනාවන්ත තත්ත්වය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා විග්‍රහ කර තිබුණේ මෙසේය.

 “අරුණ දර්ශන තම ධාවන පථයේ පැමිණ නදීෂා රාමනායක වෙත යෂ්ඨිය ලබාදෙන අවස්ථාවේදී අරුණගේ එක් පාදයක් අදාළ ධාවන පථයෙන් ඇතුළත පිහිටි ධාවන පථයට පිවිසීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් අවලංගු කළේය.”

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකා ලක්ෂිණි සාරා සිල්වා අද දුර පැනීම (කාන්තා) ඉසව්වෙන් මීටර් 6.14කට 6 වැනි ස්ථානය ලැබුවාය. එහි රන් පදක්කම චීන ක්‍රීඩිකා සිකී සිඔන්ග් මීටර් 6.73කට දිනා ගත්තාය. ලක්ෂ්ණිගේ මෙහි හොඳම මෙතෙක් දක්ෂතාව මීටර් 6.38කි.


අදහස් (0)

මංතීරු නීතිය කඩකළ ශ්‍රී ලංකාවට රිදී පදක්කම අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.