Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics පැරිස් ඔලිම්පික් උළෙලට යන්න සහාය දිවීමේ කණ්ඩායම් 3 ක්

පැරිස් ඔලිම්පික් උළෙලට යන්න සහාය දිවීමේ කණ්ඩායම් 3 ක්

editorial - 2023 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 2023 මේ දක්වා අන්තර් ජාතික තරග මාලා හයකදී පදක්කම් 23ක් දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව 2024 ‘පැරිස්’ ඔලිම්පික් උළෙල සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවම අට දෙනකු නිර්දේශ කර ගැනීමේ සැළැස්මක් ක්‍රියාවට නගා ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා 2024  ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ජාතික සැලැස්ම පිළිබඳ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම සැලැස්ම අනුව ශ්‍රී ලංකාවේ සහය දිවීමේ කණ්ඩායම් තුනක්ද පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සහභාගි කිරීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පසුවන බවද ඔහු එහිදී පැවසීය.

එහි ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන, භාණ්ඩාගාරික ශාන්ත ද සිල්වා යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගිවී සිටියහ.

ප්‍රංශයේ පැරිස් නුවරදී 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජුලි 26 සිට අගෝස්තු 11 වැනිදා දක්වාය. ඒ සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිර්දේශ ලබාගැනීමේ අවස්ථාව ලබන ජුනි 20 වැනිදා දක්වා ලැබී තිබේ. එහිදී ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම් සඳහා වඩාත් අවස්ථාව උදා කර ගැනීමේ අපේක්ෂාවෙන් බහමාස් හිදී ලබන වසරේ මැයි 4-5 දෙදින පැවැත්වෙන ලෝක සහය දිවීමේ තරාවලියට ශ්‍රී ලංකාව සහභාගිවීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සහයෝගය ලබාදෙන බව එහි මහලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතා පැවැති හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම්ලාභින් පිළිගැනීමේ උත්සවයකදී පැවසීය.  

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය දැනටමත් ඔලිම්පික් කමිටුව දැනුවත් කර ඇතැයි මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසීය.

කේවල ඉසව් හිදී යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් (මීටර 100 - පිරිමි) තරුෂි කරුණාරත්න (මීටර 400හා මීටර 800 කාන්තා) ගයන්තිකා අබේරත්න (මීටර 1500 – කාන්තා) (මීටර800) දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසි කිරීම - කාන්තා) යන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ‘පැරිස්’ ඔලිම්පික් උළෙල සඳහා නිර්දේශ ලබා ගැනීමේ වඩාත් විශ්වාසය පළකර තිබෙන බව මලල ක්‍රීඩා ආයතනයේ ලේකම්වරයා පවසයි.

මෙහිදී උසස් දක්ෂතා ප්‍රවර්ධන ජාතික කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ යන ප්‍රධානතම මලල ක්‍රීඩා සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් කර ගැනීමේ තේරීම් තරග ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට මලල ක්‍රීඩා ආයතනය කටයුතු යොදා ඇත.

5 වැනි ආසියානු යොවුන් (18 න් පහළ) මලල ක්‍රීඩා තරගාවලිය (ටස්කන්ට් - උස්බෙකිස්තානය) 20 වැනි ආසියානු යොවුන් (වයස 20න් පහල), මලල ක්‍රීඩා තරගාවලිය ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය (පතායා - තායිලන්තය) පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල (ට්‍රිනිඩෑඩ්) ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය (බුඩාපේස්ට් - හංගේරියාව) ආසියානු ක්‍රීඩා උළෙල (හංජෝ - චීනය) යන මෙම වසරේදී පැවැති ප්‍රධානතම ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි හයකදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 6ක් රිදී පදක්කම් 7ක් හා ලෝකඩ පදක්ම් 10ක් දිනා ගැනීමට සමත් වූහ.
එහිදී රන් පදක්කම් තුනක් ඇතුළුව මුළු පදක්කම් හයක් ශ්‍රී ලංකාවට දිනා දීමට දායක වූයේ මැදිදුර ධාවන ශූරී වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහලේ සිසුවියක් වන තරුෂි දිල්හාරා කරුණාරත්න විසිනි. 

අවසන් වරට පැවති 2020 (ටෝකියෝ) ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සහභාගිත්වය මීටර 100 ක්‍රීඩක යුපුන් අබේකෝන් හා මීටර  800 ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චිට සීමා වූහ.

 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. එහි ප්‍රධාන ලේකම්  සමන් කුමාර ගුණවර්ධන, භාණ්ඩාගාරික ශාන්ත ද සිල්වා යන මහත්වරු ද මෙහි වෙති.


අදහස් (0)

පැරිස් ඔලිම්පික් උළෙලට යන්න සහාය දිවීමේ කණ්ඩායම් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.