Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics පතියලා යන කණ්ඩායම 10 කට අඩුකරයි

පතියලා යන කණ්ඩායම 10 කට අඩුකරයි

editorial - 2021 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ‘පතියාලා’ නුවර දී මෙම 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකුට සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා කලින් නිර්දේශ වූයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමකි.

කෙටි ධාවන ක්‍රීඩක  හිමාෂ ඒෂාන්ට මෙම තරග සංචාරය ද අහිමිව යාම කැපී පෙනේ.

සංශෝධිත ක්‍රීඩක  ක්‍රීඩිකාවන්ගේ නාමාවලියට අනුව මීටර් 100x4 ශ්‍රී ලංකා සහය දිවීමේ කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස්දෙනා හැරෙන්නට ඒ සඳහා දැන් නිර්දේශ වී සිටින්නේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීම ආසන්නයටම ළඟාවී සිටින තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනකු පමණි.  කාලිංග කුමාරගේ (මීටර් 400 පිරිමි), සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම පිරිමි) නිමාලි ලියනාරච්චි (මීටර් 800 කාන්තා), නිලානි රත්නායක (මීටර් 3000 බාධක කාන්තා), නදිෂා රාමනායක (මීටර් 400 කාන්තා) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පතියාලා  තරගාවලියට යන සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

අරුණ දර්ශන (මීටර් 400), වරුණ ලක්ෂාන් අබේරත්න (හෙල්ල විසි කිරීම) යන ක්‍රීඩකයන් ද නදිකා ලක්මාලි (හෙල්ල විසි කිරීම) යන ක්‍රීඩිකාව ද මේ වනවිට ඉන්දීය තරග සංචාරයෙන් ඉවත් කර තිබේ.  ඒ අතර මීටර් 100 ක්‍රීඩක යුපුන් අබේකෝන් මෙන්ම උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක පෙරේදා ද මෙම තරග සංචාරයට සහභාගි වන බව මේ දක්වා තහවුරු කර නැත.

 ජාතික ක්‍රීඩා සභාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට උපදෙස් ලබා දී තිබුණෙ ඉන්දියාවේ දැන් පවතින උග්‍ර කොවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගෙන සංචාරයට සහභාගි කර ගන්නා  ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන සීමා කරන ලෙසයි.  පතියාලා සංචාරයට ශ්‍රී ලංකා සහය දිවීමේ කාන්තා කණ්ඩායමක් සහභාගි කර ගැනෙන්නේ සත්කාරක ඉන්දියාවේ විශේෂ ඉල්ලීමකට අවධානය යොමු කරමිනි. එම කණ්ඩායම වෙනුවෙන් පූර්ණ අනුග්‍රාහය දැක්වීමට ද ඉන්දීය තරග සංවිධායකයෝ ඉදිරිපත්ව සිටිති.

තරගාවලියට සහභාගි වන මීටර් 100x4 කාන්තා සහය දිවීමේ ඉන්දීය කණ්ඩායමට දිරියක් ලබාදීමේ අපේක්ෂාවෙනි. එහි අදහස ටෝකියෝ ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන ඉන්දීය සහය දිවීමේ කාන්තා කණ්ඩායමට වඩාත් ඉහළ තරගකාරිත්වයක් ලබාදීම  සඳහා ශ්‍රී ලංකා සහය දිවීමේ කාන්තා කණ්ඩායම ද මෙහිදී තරග වැදීමයි.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස නම් කර සිටි ලාල් චන්ද්‍ර කුමාර මහතාත් පුහුණුකරුවන් ලෙස පත්කර සිටි ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි. කේ. කුලරත්න හා මලල ක්‍රීඩා පුහුණුකරු ඩබ්. කේ. තුෂාර යන මහත්වරු වෙනුවට දැන් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස පත්කර ඇත්තේ සුජිත් අබේසේකර හා විමුක්ති සොයිසා යන මහත්වරුන්ය. ඔවුන් දෙදෙනා අවලංගු වූ කසකස්තාන තරග සමාජයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම් පුහුණුකරුවන් ලෙස නිර්දේශ වී සිටි අයයි.

සුජිත් අබේසේකර මහතා තරග සංචාරයට එක්වන මීටර් 800 ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චිගේත්, විමුක්ති සොයිසා මහතා මීටර් 400 ක්‍රීඩක කාලිංග කුමාරගේ ගේත් පෞද්ගලික පුහුණුකරුවෝ වෙති.


අදහස් (0)

පතියලා යන කණ්ඩායම 10 කට අඩුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.