Last Update  :  2025-09-15 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නිලවරණයට කඹ ඇදිල්ලක්

නිලවරණයට කඹ ඇදිල්ලක්

editorial - 2025 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

යොදා ගෙන තිබෙන පරිදි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය  (2025 - 27) සදුදා (18) පවත්වන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (රාජකාරී ආවරණ) වී.ප්‍රේමචන්දිරන් මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම්වරයාට ඊයේ (15) ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබේ.ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ 2025 නිලවරණයේ ඇයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති  අභියාචනය මැයෙන් එම ලිපිය මලල ක්‍රීඩා ආයතනයේ ලේකම්වරයාට ඊයේ යොමු කර තිබේ.

එම ලිපියට අනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා (රාජකාරී ආවරණ) කරුණු තුනක් සම්බන්ධයෙන් මලල ක්‍රීඩා ආයතනය දැනුවත් කර තිබේ.

අභියාචක ඩබ්.ඩී.ඩබ්.සේනානායක මහතා විසින් දක්වා ඇති කරුණු අනුව නිලවරණ කමිටුව විසින් ඔහුගේ නාමයෝජනා ඇයැදුම් පත ප්‍රතික්ෂේප කිරීම පිළිගත හැකි නීතිමය ප්‍රතිපාදන තුළ සිදු කර නොමැති බව අභියාචනා උපදේශක කමිටුව විසින් නිරීක්ෂණය කර තිබෙන බැවින් ඔහුගේ ඇයැදුම්පත නිර්දේශ කිරීම,

ඉහත අභියාචකගේ දෙවැනි කරුණට අදාළ වන 12/II/(ආ)  අන්තර් ගත මූලික හරයන් මැතිවරණ කමිටුව ස්ථාපනය කිරීමේදී මලල ක්‍රීඩා සංගමය පිළිපැද  නොමැති බව  අභියාචනා උපදේශක කමිටුවට නිරීක්ෂණය වීම හා අනුබද්ධ ක්‍රීඩා සමාජ බහූතරයක් විසින් නියමිත දිනට නිලවරණය පැවැත්වීමට තම එකගතාවය අමාත්‍යවරයාට දැනුම්දී ඇති බැවින් ඇමැතිවරයාගේ උපදෙස් මත පවතින තත්වයන් යටතේ 2025.08.18 දිනයටම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය ඉහත නිර්දේශයන්ට අනුකූලව පවත්වන ලෙස වැඩිදුරටත් දැනුම් දීම.යන කාරණා තුන ඊයේ නිකුත් කළ එම ලිපියෙන් දක්වා තිබේ.මේ අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ (රාජකාරී ආවරණ) ඉහත ලිපියට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රකාශකයෙකු ලංකාදීප යට මෙසේ පැවැසීය.

”දැන් උද්ගත වෙලා තිබෙන තත්වයන් එක්ක නිලවරණය සදුදා (18) පැවැත්වීම ප්‍රායෝගිකව අපහසුයි.මේ ලිපිය අපිට ලැබුණේ ඊයේ (15) පස්වරු හයත් පසු වෙලා.මේ වෙන කොට නිලවරණය පවත් වන්න වෙන් කරපු ශාලාව අවලංගු කරන්නත් කටයුතු කරලා තිබෙන්නේ.

ප්‍රධානම කාරණාව තමයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ නිකුත් කළ ලිපියට අනුව ක්‍රීඩා අමාත්‍යාංශය විසින්ම තමන් නිකුත් කළ ක්‍රිඩා සංගම්  රෙගුලාසි මේ ලිපියෙන් උල්ලංඝණය කරලා තිබෙන එක.එහි 14 - ඒ 5 යටතේ වන 11 හා 12 යන වගන්ති දෙකම එහිදී  උල්ලංඝණය වෙලා තිබෙනවා.

ඊළග ප්‍රධාන කාරණාව වන්නේ අභියාචනා උපදේශක කමිටුවට රුපියල් ලක්ෂයක් එක්ක බාර දුන්න අභියාචනා හතරෙන් තීන්දුව ලැබිලා තිබෙන්නේ එකකට විතරයි.එතකොට අනිත් අභියාචනා තුනේ තීන්දු ලැබෙන්නේ නැතිව නිලවරණය තියනවා කියන්නේ 2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් රෙගුලාසි මාලාව උල්ලංඝණය වීමක්.

තවත් එකක් තමයි සුදුසුකම් ප්‍රශ්නයක් මුල් කර ගනිමින් නිලවරණ කමිටුවෙන් ඉවත් කර තිබෙන ආර්.බී. වික්‍රමසිංහ මහතාට නිලවරණයට මැදිහත් වෙන්න බෑ කියන කාරණාව.ක්‍රීඩා සමාජ 21 ක් ඉල්ලීම් කළ පළියට ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝණය වන ආකරයට එය පවත් වන්න අමාත්‍යාංශය උපදෙස් ලබාදීමෙන් ක්‍රීඩා පනත ක්‍රීඩා අමාත්‍යාංශයම පනත උල්ලංඝණය කරලා.

නමුත් ක්‍රීඩා පනතට ගරු කරලා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් සහාපති, ලේකම් හා භාංඩාගාරික යන ධූර තුනේ නිලධාරීන් කටයුතු කර තිබෙන තත්වයක් මැද ඇතිවී තිබෙන එම තත්වයන් ගැන මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් විධායක සභාව  කනගාටු වෙනවා.”

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය ( 2025 - 27) ලබන සදුදා  (18) පෙරවරු 10 ට කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කර තිබේ.

එහිදී සභාපති ධූරයට සුනිල් ගුණවර්ධන, ප්‍රසන්න ඉන්දික, උපාලි කුමාරසිරි යන මහත්වරුන් නාමයෝජනා භාරදී තිබේ. අභියාචනා උපදේශක කමිටුව ඊයේ ලබා දුන් නියෝගයත් සමග මෙවර නිලවරණය සදහා ඉදිරිපත් වූ නාමයෝජනා 21 කම පිළිගෙන තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා නිලවරණ කමිටුවේ සාමාජික, හිටපු සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී.වික්‍රමසිංහ මහතාට ඊයේ ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත්තේ ඔහුගේ සුදුසුකම් පිළිබදව පැන නැගී තිබෙන ගැටළුකාරී තත්වයක් හේතුවෙන් එම කමිටුවෙන් ඔහු ඉවත් කිරීමට මලල ක්‍රීඩා ආයතනය තීරණය කළ බවයි.


අදහස් (0)

නිලවරණයට කඹ ඇදිල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.