Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නදීකා රන් පදක්කමකින් සමුගනියි
ජාතික මහ ක්‍රීඩා උළෙල

නදීකා රන් පදක්කමකින් සමුගනියි

editorial - 2023 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වෙන 47 වැනි ජාතික මහ ක්‍රිඩා උළෙලේදී හෙල්ල විසිකිරීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම මිටර් 54.13 කට අද (25) දිනා ගත් 43 හැවිරිදි නදීකා ලක්මාලි තරග බිමෙන් අද සිය සමුගැනීමට ඉහළම වටිනාකමක් ලබා දුන්නාය.

අද සිය ඉසව්වට තරඟ වැදීමට පෙර නදීකා ලක්මාලි කලින් ප්‍රකාශ කර සිටියේ හෙටින් (26) නිමාවට පත්වන 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සහභාගීත්වය සමග තමන් තරඟ බිමෙන් සමු ගන්නා බවයි.

මෙරටින් බිහිවූ විශිෂ්ඨතම හෙල්ල විසි කිරීමේ ශූරියක් වන නදීකා ලක්මාලි බඹරැන්ද ලියනගේ වසර 23 කට වැඩි කාලයක් මෙරට මලල ක්‍රිඩාවේ රැඳෙමින් ගත කළ දීර්ඝතම කාලය තුළදී ජාතික මහ ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම 10 වතාවක්ම දිනා ගෙන තිබේ.

ඇගේ මෙහි පළමු රන් පදක්කම වසර 2003 දී මිටර 44.87 කට පළමු වතාවට වාර්තාවී තිබේ. අනතුරුව 2006 – 08 – 10 – 11- 12 – 13 – 14 – 15 හා 2018 යන වසර වලදීත් ඇය ජාතික මහ ක්‍රිඩා උළෙලේ හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ ජයග්‍රාහිකාව බව පත්ව තිබේ.

ඇගේ ජාත්‍යන්තර දක්ෂතා ඉහළ අගයක් ගන්නා අතර වසර 2008 බීජින් ඔලිම්පික් උළෙල මෙන්ම වසර 2013 මොස්කව් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය සඳහාද නිර්දේශ ලබා ගැනීමට සමත්වූවාය.

වසර 2013 (පූනේ) හා 2007 (අම්මාන්) යන වසරවලදී පැවැති ආසියානු ශූරතා මලලක්‍රිඩා තරඟාවලිවලදී ඇය රිදී හා ලෝකඩ පදක්කමක් බැගින් දිනාතිබේ. සුසන්තිකා  ජයසිංහගෙන් පසුව ලෝක ශූරතා තරඟාවලියකදී (2013 – මොස්කව්) ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් සෙසු එකම ශ්‍රී ලාංකිකයා වන්නේද  නදීකා ලක්මාලිය.

අද සුගතදාස පිටියේදී සිය තරග සමුගැනීම ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සමුගන්නා තරගයේදී එහි ජයග්‍රාහිකාව ලෙස තරගය අවසන් කිරීමට ලැබීම ගැන තමා වඩාත්ම සතුටට පත්වන කාරණය වන බවයි.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දෙකකදීත් රන් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ඇති නදීකා 2019 ලෝක හමුදා ක්‍රීඩා උළෙලේදීත් ලෝකඩ පදක්කමක් හිමිකරගෙන ඇත. ඇගේ ඉසව්වේ හොඳම දක්ෂතාව මීටර 60.64ක් ලෙස වාර්තා වී තිබේ. ජාතික තරග වාර්තාව ඇය වසර 12ක්ම රැකගෙන තිබේ. වසර 2013 පැවැති ආසියානු ගෝන් ප්‍රී මලලක්‍රීඩා තරගාවලියේදී ඇය අදියර තුනේදීම ජයග්‍රාහිකාව වීම තවත් කැපී පෙනුණ සිදුවීමකි.

ඇගේ පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කළේ පද්මකුමාර රණතුංග මහතාය. මේ අතර ඊයේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලලක්‍රීඩා තරගාවලියේදී මීටර 110-කඩුලු ඉසව්වේ මූලික වටයේදීම තත්පර 14.18කට නව වාර්තාවක් පිහිටුවීමට බස්නාහිර පළාතේ අයි.ජී.ජේ.අයි. ලක්විජය සමත්විය.

හෙට (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.30ට නිමාවන 47වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී අද වන විට පදක්කම් 109ක් දිනා බස්නාහිර පළාත මෙවරත් එහි ජයග්‍රාහකයා වන බවට තහවුරු කරගෙන තිබුණි.


අදහස් (0)

නදීකා රන් පදක්කමකින් සමුගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.