Last Update  :  2025-04-30 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ධනංජනාගෙන් රිදී පදක්කමක් ළහිරුගෙන් ලෝකඩ පදක්කමක්
ආසියානු වයස 18 න් පහළ මලල ක්‍රීඩා

ධනංජනාගෙන් රිදී පදක්කමක් ළහිරුගෙන් ලෝකඩ පදක්කමක්

editorial - 2025 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සෞදි අරාබියේ දමාම් නුවරදී පැවැත්වෙන හය වැනි ආසියානු වයස 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු මීටර100 (කාන්තා) ඉසව්වෙන් තත්පර 11.92 කට රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්වූවාය.එය ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දිනා ගත් දෙවැනි රිදී පදක්කමයි. ධනංජනා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුවියකි.

මෙම ඉසව්වේ රන් පදක්කම ඇයට වඩා තත්පරයෙන් දශම 12 ක කාලයකින් ඉස්සර වූ චීන ක්‍රීඩිකා සෑන්ග් කුයිඈන් විසින් දිනා ගත්තාය. ඒ තත්පර 11.80 ක කාලයක් වාර්තා කරමිනි. ඉන්දීය ක්‍රීඩිකා ආර්තී විසින් ධනංජනාට තියුණු සටනක් දෙමින් මෙහි ලෝකඩ පදක්කම ලැබුවේ තත්පර 11.93 කටය. තත්පර 11.91 කට ඉසව්වේ දෙවැනි මූලික තරගයේ ජයග්‍රාහිකාව වෙමින් ඇය අවසන් තරගයට නිර්දේශ ලැබ ගැනිමට සමත් වූවාය.
     
මේ අතර ධනංජනා රිදී පදක්කම දිනා ගත් පෙරේදා (16) දිනයේදීම ශ්‍රී ලංකා ක්‍රීඩක ළහිරු අචින්ත ගාල්ලගේ මීටර 1500 (බාලක) ඉසව්වෙන් ව්නාඩි 3 තත්පර 59.47 කට ලෝකඩ පදක්කම දිනා ගත්තේය. ළහිරු රත්නපුරය ශාන්ත ඇලෝෂියස් විදුහලේ සිසුවෙකි.
      
මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ කටාරයේ මුබාරක් අබ්ඩී සයිඩ් විසිනි. ඒ විනාඩි 3 තත්පර 57.90 කටය. විනාඩි 3 තත්පර 58.76 කට මෙහි රිදී පදක්කම දිනා ගත්තේ ලෙබනනයේ මොහොමඩ් අබූ සයිඩ් විසිනි.

අද (18) නිමාවට පත් වන මෙම තරගාවලියේ ඊයේ පස්වරුව වන විට ශ්‍රී ලංකාව  රිදී පදක්කම් දෙකක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා තිබුණි. රිදී පදක්කම දිනා ගත්තේ තුන්පිම්ම ඉසව්වෙන් ජනිත් ලක්ෂාන් විසිනි.

මේ අතර මීටර 400 (බාලක) අවසන් තරගයට සහභාගිවූ ශ්‍රී ලංකා ක්‍රීඩක ඉරේෂ් මධුවන්ත බෝගොඩ තත්පර 49.49 කට හත් වැනි ස්ථානයට පත් විය. තත්පර 48.11 කට ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ චීන ක්‍රීඩක ලී යන්ග්ජී විසිනි.

මීටර100 (බාලක) ඉසව්වේ අවසන් තරගයට නිර්දේෂ ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක චතුෂ්ක ඉමේෂ් සිල්වා තත්පර 10.84 කට එහි හත් වැනි (අවසන්) ස්ථානයට පත් විය. මෙහි රන් පදක්කම හිමි කර ගත් ජයග්‍රාහකයා වූයේ  (තත්පර 10.38) ජපානයේ ෂිමීසූ සොරාටෝය.
    
මෙම තරග සංචාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 19 දෙනෙකු සහභාගිවී සිටිති.


අදහස් (0)

ධනංජනාගෙන් රිදී පදක්කමක් ළහිරුගෙන් ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.