Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තුෂේන්ගෙන් රිටි පැනීමේ රිදී පදක්කමක්

තුෂේන්ගෙන් රිටි පැනීමේ රිදී පදක්කමක්

editorial - 2023 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීගමුව ‘මාරිස්ටෙලා’ විදුහලේ රිටි පැනීමේ ක්‍රීඩක තුෂෙන් මලින්දරත්න සිල්වා උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී පැවැති පස්වැනි ආසියානු යොවුන් (වයස 18න් පහළ) මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රිටි පැනීම (බාලක) ඉසව්වෙන් මීටර 4.70ක දක්ෂතාවක් දක්වමින් එහි රිදී පදක්කම හිමි කරගත්තේය. මෙය සැලකෙන්නේ, ශ්‍රී ලංකාව වසර 72කට පසුව ආසියානු මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලියකදී රිටි පැනීම ඉසව්වෙන් දිනාගත් පළමු පදක්කම ලෙසයි. තුෂේන් ඔහුගේ හොඳම දක්ෂතාව දැක්වීමට ද මේ සමගම සමත්ව තිබේ.

1951 නවදිල්ලි නුවරදී පැවැති ආරම්භක ආසියානු ක්‍රීඩා උළෛලේදී එම්.ඒ. අක්බර් මීටර 3.69කට දිනාගත් රිටි පැනීම (පිරිමි) රිදී පදක්කම එතෙක් ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබූ ආසියනු ශූරතා මට්ටමේ එකම රිටි පැනීමේ පදක්කම විය. නවදිල්ලි පළමු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබූ එකම පදක්කමත් එයම විය.

තුෂේන් මලින්දරත්න ටෂ්කන්ට් නුවරදී මෙම දක්ෂතාව දක්වන විට වාර්තා වූ සිදුවීමක් වූයේ, ඔහු පැනීම සඳහා යොදාගන්නා රිටි කටුනායක ගුවන්තොටුපොළෙන් රැගෙන යාමේදී රුපියල් ලක්ෂ තුනක් පමණ වන අධිභාරයක් ඒ සඳහා ගෙවිය යුතු බවට ගුවන්තොටුපොළ බලධාරීන් දැනුම්දීමෙන් පසුව ඔහු රිට නොමැතිව ටෂ්කන්ට් නුවර බලා පිටත්ව ගිය බවයි.

කෙසේ වුවත්, මෙම සිදුවීමෙන් තුෂේන්ගේ ක්ෂතාවලට හානියක් නොවූ බවත්, ඔහු පාවිච්චියට ගන්නා වර්ගයේම රිටක් ටෂ්කන්ට් නුවර සංවිධායකයන් විසින් ලබාදීමෙන් ඔහුගේ පදක්කම් අපේක්ෂා සාර්ථක කරගත් බවත්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ද අවධානය යොමුව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය දැනුවත් වී නොසිටි බවයි.

රිටි පැනීම ඉසව්වේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජයග්‍රහණ ඉතා අවම මට්ටමක පවතින අතර, එවන් තත්ත්වයක් තුළ ටෂ්කන්ට් නුවරදී ශ්‍රී ලංකා ක්‍රීඩක තුෂෙන් දැක්වූ දක්ෂතා අවධානය දිනා ගත් බව පෙනේ.

රිටි පැනීම (පිරිමි) ශ්‍රී ලංකා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව  මීටර් 5.11කි.  වසර 2017 දී එහි ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා ඇත. එහි ආසියානු වාර්තාව වසර 2019 දී පිහිටුවන ලද්දේ මීටර 5.71 ක් ලෙසිනි.  මෙහි ආසියානු ක්‍රීඩා උළෙලේ වාර්තාව මීටර් 5.94කි. ලෝක වාර්තාව මීටර් 6.22 කි.

මේ අතර, ටෂ්කන්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක නිලුපුල් තේනුජ උස පැනීම (බාලක) ඉසව්වෙන් මීටර් 2.01 ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කමක් දිනා ගත්තේය. ඔහු දික්වැල්ල විජිත මැදි විදුහලේ සිසුවෙකි.

මීටර් 800 (බාලිකා) ඉසව්වෙන් ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ කසුනි නිමාලි වික්‍රමසිංහ විනාඩි 2 තත්පර 17.0කට ලෝකඩ පදක්කමක් හිමි කරගනිමින් ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරාගවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් ලබා දුන්නාය. මෙම ක්‍රීඩිකාව ගියවර තරගාවලියේදී (2022 - කුවේට්) රිදී පදක්කමක් දිනා තිබේ. ඊයේ රාත්‍රියේ (30) තරග වැදීමට නියමිතව සිටි ශ්‍රී ලංකා මීටර් 400ක කඩුලු පැන දිවීමේ ක්‍රීඩක අඹගමුව මහ විදුහලේ අයෝමාල් අකලංග වෙතින් ද ශ්‍රී ලංකාව පදක්කමක් කෙරෙහි ඉහළම විශ්වාසය තබා තිබුණි.

මෙම තරගාවලිය ඊයේ නිමාවට පත්වූ අතර, ශ්‍රී ලංකාව තරගාවලි ඉතිහාසයේ ඒ දක්වා දිනා තිබූ රන්, රිදී, ලෝකඩ පදක්කම් මුළු එකතුව 17කි.

මෙම තරග සංචාරය සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රධාන වශයෙන් අනුග්‍රහය දක්වා තිබුණි. කෙසේ වුවත්, ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ, තරග සංචාරය සඳහා වැය කළ ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු මහා භාණ්ඩාගාරයෙන් අයකර දීමට කටයුතු කරන බවයි.

මේ අතර මීටර 400-කඩුලු පැන දිවීම (බාලක) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමි කරගැනීමට අයොමාල් අකලංක සමත් විය. ඒ තප්පර 51.40 කදී ඉසව්ව නිම කරමිනි.

මෙම ඉසව්වේ තුන්වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩකයෝ තිදෙනාම ඉසව්වේ පැරණි වාර්තාව (තප්පර 51.90) අබිබවා යමින් දක්ෂතා දැක්වූහ.

අයොමාල් අකලංක අඹගමුව මහ විදුහලේ සිසුවෙකි. අයෝමාල් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකුගේ පෞද්ගලික පුහුණුකරුවු බුද්ධික මදුශංක මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙම තරග සංචාරයට එක්ව සිටී.


අදහස් (0)

තුෂේන්ගෙන් රිටි පැනීමේ රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.